6.13.2014

කරුණු නොවිමසා පොසොන් පොහෝ දින මිහිඳු හිමි වැනීම හෙවත් හෙළයාගේ කොන්ද කැඩීම හෙවත් අදටත් ඉන්දියාවට කඩේ යාම



මිහිඳු මහරහතුන්වහන්සේගේ ලංකාගමනය හෙළ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස, 'වනචාරී හෙළයා ශිෂ්ටාචාර කිරීම' ලෙස බොහෝ ලේඛකයන්, යතිවරුන් ලියති. දෙසති. ලියන්නේ ය. දෙසන්නේ ය. අධ්‍යනයකින් තොරව කෙරෙනා මෙවැනි ලියුම් කියුම් වලින් කෙරෙනුයේ සැබෑ හෙළ ඉතිහාසය තව තවත් 'ඉතිහාසයට ම' ඇද දැමීම මිස වෙන අන් දෙයක් නොවේ. ඊට‍ත් වඩා අනාගත සිංහලයාගේ කොන්ද කඩා දැමීම මිස වෙන අන් දෙයක් මෙයින් සිදු නොවේ. ඉන්දියාවට කඩේ යෑම මිස වෙන අන් දෙයක් මෙයින් සිදු නොවේ. මෙවැනි ලිපි අතරට වැටෙනා තවත් 'සාරගර්භ' ලිපියකි, මාලබේ සුසීලාරාම විහාරාධිකාරී කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය බෝදාගම සීලවිමල හිමි විසින් 'ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය' යන නමින් 'දිවයින Online EDITION' වෙබ් අඩවියේ එල කරන ලද ලිපිය. ආචාර්යන් වහන්සේ විසින් හෙළිකරනා කරුණු කාරණා සම්බන්දයෙන් වන මාගේ අදහස මෙහි සඳහන් කරන්නට සිතුවෙමි.

උන්වහන්සේ විසින් සම්පාධිත ලිපිය පළමුවත්, මාගේ අදහස දෙවනුවත් ඉදිරිපත් කර ඇත.

'ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය

ක්‍රි.පූ. 6 වැනි සියවසේ 623 සිට 543 දක්‌වා ලොව විසූ ශ්‍රේෂ්ඨතම ශාස්‌තෲන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ගේ ස්‌වයංභූ වූ ඤාණයෙන් සිව්සස්‌ අවබෝධයෙන් සකල විධ වූ සත්ත්වයන් සංසාරය නමැති ඝෝර වූ භව ගමනින් නිරුද්ධ කළ සේක. උන්වහන්සේගේ ධර්මය මෙලොව ජීවිතය සැපවත්ව නිරෝගිමත්ව, දීර්ඝායුෂව සැනසිලිදායක ලෙස ජීවත් වන්නට මහත් වූ රුකුලක්‌ විය. මිනිස්‌ සංහතියට පමණක්‌ නොව අපා දෙපා සිව්පා, බහුපා, ක්‍ෂුද්‍ර ජීවීන්ට හා සමස්‌ත පරිසර පද්ධතියටම යහපත පිණිසම පැවතුණි. මේ උසස්‌ දර්ශනය දඹදිව මධ්‍ය දේශයට පමණක්‌ සීමිත වූ දර්ශනයක්‌ නොවීය.
තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක්‌ ලැබුණේය. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ උරුම කරගත් පිරිසක්‌ ලෙස ථෙරවාදී බුද්ධ ධර්මය සුරක්‍ෂිත රටක්‌ ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට වැඩම කළ නිසාමය. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්‌, අභිචාර විධි, අක්‍ෂර මාලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌ නොවීය. දෙවන පෑතිස්‌ රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලක්‌ දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස සතුන් දඩයමේ ගිය අවස්‌ථාවේදී රජු පිරිසෙන් වෙන් කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥගෝචරම ක්‍රියාවකි. උන්වහන්සේ තමන් වහන්සේ හා පිරිස කවුදැයි යන්න හඳුන්වා දුන්නේ ගාථා දේශනාවක්‌ කරමිනි. තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දීම තුළින් රජුගේ බිය පහව ගියේය. තමාගේ අදෘෂ්ට භාරතීය මිත්‍රයා වූ ධර්මාශෝක මහ රජුගේ එකම පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ හා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් යුතුව තමා අතැති දුනු හී පසෙකලා උන්වහන්සේ තමන් සමඟ පිළිසඳරෙහි යෙදිණි. මෙහිදී මහින්ද මහ රහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් තෙරවරුද සුමන නම් රහත් සාමණේරයන් වහන්සේද භණ්‌ඩුක නම් අනාගාමී උපාසකතුමාද මහරජුට පිළිවෙළින් හඳුන්වා දුන්හ. මේ හඳුන්වා දීම උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයනුත්, බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර බවත් කදිමට පිළිබිඹු වන සාධකයන්ය, මෙහිදී සන්සුන් වූ රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා නොකොට තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්ම කාණ්‌ඩය අවබෝධ කර ගැනීමට තරම් මේ පුද්ගලයා ප්‍රඥගෝචර දැයි දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥති ප්‍රශ්නය විචාළෝය. මෙම ප්‍රශ්න විමසීම එක අතකින් රජු දහම් ඇසීම සඳහා පෙළඹවීමක්‌ කිරීමකි. මිහිඳු මහ රහත් චරිතයේ මෙම අවස්‌ථාව නියම ධර්ම දූතයකුගේ ලක්‍ෂණ හා දක්‍ෂ ගුරුවරයකුගේ ලක්‍ෂණ ප්‍රකට කරන අවස්‌ථාවකි.

මොහඳුරෙහි මුළාවී මුව කෙළියෙහි යෙදුණු මුටසිව රජුගේ පුත් දෙවන පෑතිස්‌ නිරිඳු දුනු හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන් අලෝකවත් වූ මාවතට පිවිසියේය.

බුදු දහම ලැබීමත් සමඟම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්‌ම සිදු විය. ආධ්‍යාත්මික වශයෙන් හා සදාචාරමය වශයෙන් සිංහලයන් තුළ ඇති වූ වෙනස බොහෝය. පන්සිල් රකිමින් තම ජීවිතය හැඩ ගසා ගත් ලාංකික ජනතාව විශේෂයෙන් අවිහිංසාව ගරු කරන්නන් බවට පත් වූහ. මින් පසු ක්‍රීඩාව සඳහාවත් ඔවුහු දඩ කෙළියෙහි නොගියහ. පසුකාලීන බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා බෙහෙත් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය වී තිබූ අයුරුය. පරාර්ථය සැලකීමද බෞද්ධයන්ගේ විශේෂ ලක්‍ෂණයක්‌ විය. මේ නිසා පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක්‌ දැක්‌විණි. ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යයක්‌ද හෙළ ජනයාට ලැබුණේ බුදු දහම නිසාමය. අනුරාධපුරයේ මහා විහාරය, අභයගිරිය හා ඡේතවනාරාමය යන විහාරස්‌ථ ආශ්‍රිතව විශ්වවිද්‍යාල මට්‌ටමේ අධ්‍යාපන ආයතන බිහි විය. ශ්‍රී ලාංකිකයන්ට ජාතියක්‌ වශයෙන් දියුණු වීමට හැකි වූයේ බුදු දහමින් ඔවුන්ට ලැබුණු දායාද නිසාය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය දෙදහස්‌ පන්සිය වසරකට වැඩි කලක්‌ රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසිනි. එබැවින් බුදු දහම ශ්‍රී ලාංකික වන අපගේ උරුමයකි.

පැවිදි වීමට පුන පුනා බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක්‌ කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූයේය. මහා අරිට්‌ඨ කුමාරයාද මිහිඳු මා හිමියන් වෙතින් පැවිදි උපසම්පදා ලබා රහත් බව ලැබීය. දේශීය භික්‍ෂු පරම්පරාවේ නායකත්වය හිමි වනුයේ අරිට්‌ඨ මහරහතන් වහන්සේටය. සිංහල අපේ රටේ උපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌ පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් පෙනෙන්නේ බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැසගත් බවය. ඉන් පසු ලක්‌දිව පුරාම බුදු දහම ව්‍යාප්ත විය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්‌ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමඟම ශ්‍රී ලංකාවේද ගමයි - පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැකසිණි. ලක්‌වැසි ජනයාගේ ආගමික, අධ්‍යාපනික හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය වූයේ පන්සලයි. ගැමියාගේ පටන් රජකුමරු තෙක්‌ සියල්ලන්ම අධ්‍යාපනය ලැබුයේ පන්සලෙනි. ඒ සඳහා ඇප-කැප වන භික්‍ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම රජුගෙත්, රටවැසියාගේත් යුතුකමක්‌ ලෙස සැලකිණි. ධාර්මික දිවි පෙවෙතක්‌ වශයෙන් වැඩි දෙනෙක්‌ කෘෂිකර්මය තෝරා ගන්නා ලදී. අස්‌වනු පැසෙන තුරු විවේක කාලයක්‌ද නියම කර ගත්තේය, විවේකය ආගමික හා සංස්‌කෘතික කටයුතු සඳහා යොදා ගත්හ. වෙහෙර - විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ මේ නිසාය. කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්‌වාදය අතිශයින්ම උත්කෘෂ්ටය. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වේ. මෙම උරුමයන් ආරක්‍ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ දේශාභිමානී හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන්ද, චිත්‍ර නිර්මාණයන්ද ලක්‌වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන්ය. ඉතා දියුණු තාක්‍ෂණයක්‌ ඔස්‌සේ නිම වන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව නොරහසකි. විශේෂයෙන්ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතු සිතුවම් මගින් ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ය. මේ අයුරින් සමාජ, සංස්‌කෘතික, ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය ලක්‌වැසි ජනතාවගේ සදානුස්‌මරණීය උතුම් පූජනීය දිනයක්‌ බවට පත්ව ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක්‌ වූයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ටම පැවරීමයි. මෙරට මවුපිය දෙපළකගේ දරුවකු මේ රටේදීම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මෙහිදීම විනය සංගීතියක්‌ පැවැත්වීමෙන් සසුන මුල් බැස ගන්නා බව උන්වහන්සේ වදාළේ දේශීයත්වයට ප්‍රමුඛස්‌ථානය දෙමිනි. එසේම සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන්වහන්සේලාට ඉගැන්වූහ. ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවාද පිළියෙල කළහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවකම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූහ. මහා විහාර සීමාව පිහිටුවා සංඝයාගේ සුරක්‍ෂිතභාවය තහවුරු කළහ. පසුකාලීනව වැඩිදියුණු වූ ලංකා බෞද්ධ කලා ශිල්පවලට පදනම වැටුණේද සම්බුද්ධ ශාසනය චිරස්‌ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්‌ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ. උන්වහන්සේ එදා මිහින්තලාවෙන් අරඹා දිවයිනේ දසත විහිද වූ ධර්මාලෝකය ශ්‍රී ලාංකිකයාගේ ජන ජීවිතයේ සෑම අංගයකටම කා වැදී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙරටට සිදු වුණු අපරිමිත සේවාව නිසාම උන්වහන්සේ "අනුබුදු" නමින් හැඳින්වීමට පුරුදුව ඇත.

වසර 28 ක්‌ පමණ මෙරට ශාසනය වෙනුවෙන්ම ඇප කැපවී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ උපතින් සැට වන වියෙහි පසු වෙද්දී දෙවන පෑතිස්‌ රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළහ. මිහින්තලා උදාගිරෙන් ලක්‌දිවට පෑයූ පොසොන් සඳ එසේ බැස ගියත් එයින් විහිදී ගිය ආලෝකය අද දක්‌වාත් පැතිරෙමින් පවතී.

මාලබේ සුසීලාරාම විහාරාධිකාරී, කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය බෝදාගම සීලවිමල හිමි'
                                                  -----------------------------------

පළමුවෙන්ම පැවසීමට ඇත්තේ, ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් බුදුන්වහන්සේ උපන් දේශය දඹදිව ලෙස හඳුන්වා ඇතත් ඉන්දියානු ඉතිහාසයේ කිසිම දවසක ඉන්දියානුවෝවත් තම රටට දඹදිව කියා නැත යන්න යි. ඔවුන් තම රට හඳුන්වා ඇත්තේ 'භාරත් දේශ' යනුවෙනි.

තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක්‌ ලැබුණේ යැයි ලිපියේ සඳහන් කර ඇතත් මිහිඳු හිමි එන්නට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩම කළ බව අමතකකර ඇතුවා සේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට වැඩම කළ නිසා ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ උරුම කරගත් පිරිසක්‌, ථෙරවාදී බුද්ධ ධර්මය සුරක්‍ෂිත රටක්‌ ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත්තේය යනුවෙන් පැවසීම මුසා දෙසීමක් නොවේ ද? මිහිඳු හිමි එන්නට පෙර හෙළයේ තිබු සභ්‍යත්වය හා සංස්‌කෘතිය ශ්‍රේෂ්ඨ නැද් ද? හෙළයා අහසින් ගිය බව, කුවේණි රැජිණිය කපු කැටු බව, (හොර) විජයගේ 700 ක් වු පිරිසටත් කන්න බොන්න දුන් බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් අමතක කර ඇතුවා සේ ය. වසර දහස් ගණනකට පෙර හෙළයේ ජීවත් වූ මානවයා හා සම්බන්ද සාධක අද දවසේ ද හමුවේ. අතීත බුදුවරුන්ගේ කාලයේ ලංකාව නොයෙක් නාමයන්ගෙන් හඳුන්වා ඇති බව සාසන ඉතිහාසයේ ම දෙස් දේ. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ නිසා ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ අපට ලැබුණ බව පැවසීමෙන් මෙවැනි සාධකවලට පයින් ගැසීමක් සිදුවී නොමැති ද ?

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්‌, අභිචාර විධි, අක්‍ෂර මාලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌ නොවීය යනුවෙන් සඳහන් කිරීම අනාගත සිංහලයාගේ කොන්ද බිඳ දැමීමක් නොවේ ද? ඉන්දියාවට ආවඩන ජාතියක් ඇති කිරීමක් නොවේ ද? මෙලෙස සොයා නොබලා මුසා කීම අද දවසේවත් නැවත්විය යුතු නොවේ ද? මිහිඳු හිමි එන්නට පෙර හෙළදීපයේ රජවරුන් නොසිටියේ ද? මහාවංසයේ නැති බොහෝ රජුන් සෙල් ලිපිවල ජීවත් වේ. එක් තැනක බුදුන්වහන්සේ හෙළයට වැඩම කළ බව පවසනා අතර තවත් තැනක ලංකාවේ පැවතියේ අභිචාර ක්‍රමයක් යැයි පවස යි. මිහිඳු හිමි එන්නට පෙර ලියවුනු සෙල්ලිපි ඕන තරම් මේ හෙළයේ හමු වේ. අක්‍ෂර මාලාවක්‌ හෙළයාට තිබුනේ නැත කියන්නේ කෙසේ ද? මෙයින් පෙන්නුම් කරන්නේ, අඩුතරමේ අශෝක හා තිස්ස රජුන් ලිපි හුවමාරු කරගත් බව මීට පෙර ලියා තිබෙනවාය යන කාරණාව වත් සැලකිල්ලට ගෙන නොමැති බව නොවේ ද? ඔවුන් ඒ ලිව්වේ මොන භාෂාවකින්ද? එය රූප අක්ෂර නම් විය නොහැක්කේ ම ය.

ගෘහ නිර්මාණ ශිල්පයක්‌ හෙළයට නොවු බව ද පවසයි. මේ නම් උමතුවෙන් කරනා කීමක් මිස අනෙකක් නොවේ. කිසිඳු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයකට හෙළ ගෘහ නිර්මාණ ශිල්පය සමාන නැත. හෙළ චෛත්‍ය, සපුරා හෙළ නිර්මාණයකි. හෙළයට ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයක් වුයේ නම් සියලුම හෙළ ගොඩනැගිලි බුද්ධගයාව වැනි කෝවිල් විය යුතු ය. හෙළ නිර්මාණ තුළ ඉන්දියානු ලක්ෂණ නැත. මිහිඳු හිමි එන්නට පෙර තිබු හෙළ නිර්මාණ වල ආටෝප සාටෝප නෑ. ඒවායේ දේවවාදය ඉස්මතු කර නැත. හිරිවඩුන්න, රජගල, රිටිගල වැනි ස්ථානය පිරිසිදු හෙළ ගෘහ නිර්මාණ ශිල්පය දැකිය හැකි ස්ථානයෝ ය. ‌

දෙවන පෑතිස්‌ රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලක්‌ දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි යැයි සඳහන් කලත් මෙයට පෙර මෙම ක්‍රියාව බුදුන්වහන්සේ විසින් සිදුනොකළේ යැයි කියන්නේ කෙසේද? හෙළයට ආනයනය කළ බුදු දහමක් නොවූ අතර මිහිඳු හිමිට ගේන්න දෙයක් තිබ්බේ නැත. ඒ, එය තිබුනේ හෙළයේ නිසාවෙනි. අතීත බුදුවරු තිදෙනාම මේ රටේ දහම් දෙසීම සිදුකර ඇති අතර අද දින ද උන්වහන්සේලාගේ නාමයන් හා බැඳී ගල් ගුහා හෙළයේ පවතී.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස සතුන් දඩයමේ ගිය අවස්‌ථාවේදී රජු පිරිසෙන් වෙන් කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥගෝචරම ක්‍රියාවක් යැයි ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් පවස යි. මේ සඳහන පොඩි ලමයින් විසින් කරනා, මහ රහතන් වහන්සේ කෙනෙකු වැනි උතුමෙකුහට සුදුසු නොවනා, සෙල්ලමක් නොවේදැයි සිතේ.

මිහිඳු හිමියන් තමන් වහන්සේ හා පිරිස ගාථා දේශනාවක්‌ කරමින් හඳුන්වා දුන් බවත් එසේ කිරීමෙන් රජුගේ බිය පහ වීමට හේතු වූ බව බවසයි. බිය පහ වෙන්න මිහිඳු හිමි අද්භුත සත්වයෙක් ද? අද්භුත ක්‍රියාවක් කළා ද? තිස්ස රජු බිය වීමට ළමයෙක් ද?

තිස්ස රජු ඔහුගේ භාරත මිත්‍රයා වූ ධර්මාශෝක රජුගේ එකම පුතා වන මිහිඳු හිමියන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් ඔහු අතැ තිබු දුනු හී විසික්කර රහතුන්වහන්සේ සමඟ පිළිසඳර කතාවේ යෙදුණු බව පවසන ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන්, අශෝකට හිටියේ එක පුතෙක් බව කියමින් තව මුසාවක් නොකියන්නේ ද? අනෙක් අතට මිස්සක පව්ව උඩ හා පහත යන දෙතැනක සිට කෙසේ පිළිසඳර කතා කරම් ද?

මිහිඳු හිමියන් සමග ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් තෙරවරුද සුමන නම් රහත් සාමණේරයන් වහන්සේද භණ්‌ඩුක නම් අනාගාමී උපාසකතුමා ද පැමිණි බව පවස යි. මෙම නම් ගොන්නේ එක නමක් හෝ ඉන්දියානු නමක් නොවනා බව නොවැටහෙන්නේ ද? ඒවායේ ඉන්දියානු උරුවක් කොහෙත්ම නැත. ඇත්තේ හෙළ උරුව නොවේ ද? අනෙක් නාමයන් පසෙකලා සුමන යන නාමය පමණක් ගෙන බැලුව ද සුමනලා හෙවත් සමන්ලා හෙළයේ මිස ඉන්දියාවේ හමුවේ ද?

මිහිඳු මා හිමියන් තමන් හා පැමිණි පිරිස රජුට හඳුන්වා දීම උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයක් බවත් බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර බවත් ඉන් කදිමට පිළිබිඹු වන බවත් සඳහන් කර ඇතත් මෙවැන්නක් කිරීමට 'බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර' අවශ්‍ය ද යන්න සිතා බැලිය යුතු නොවේ ද? ඕනෑම ආචාරශීලී මනුස්සයෙක් කරනා දෙයකි මේ. ඊට බුදුදහමින් බුද්ධිමත් හා ප්‍රඥගෝචර වීම අවශ්‍ය නොවේ.

මිහිඳු හිමියන් විසින් තිස්ස රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා කර නැත. තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්ම කාණ්‌ඩය අවබෝධ කර ගැනීමට රටේ රජුට සිහිබුද්ධිය තිබේ ද යන්න දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥති ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. මෙවැනි ප්‍රශ්න විචාරමින් රජුගේ ප්‍රඥගෝචරබව සෙවීම ලාමක නොවේ ද? අද දවසේ කතාවට අනුව මෙය රජතුමාව ඇන්දවීමක් වගේ නොවේ ද? මෙවැනි ප්‍රශ්න රහත් නමකට යෝග්‍ය ද?

මොහඳුරෙහි මුළාවී මුව කෙළියෙහි යෙදුණු මුටසිව රජුගේ පුත් දෙවන පෑතිස්‌ නිරිඳු දුනු හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන් අලෝකවත් වූ මාවතට පිවිසියේය යනුවෙන් පවස යි. නමුත්, මීට පෙර සඳහන් කලේ, මිහිඳු හිමි ඒමට පෙර මෙරට යහපත් රාජ්‍යත්වයක් නැති අභිචාර විධි ඇති රටක් ලෙස ය. එවැනි රටක රජුන්, මිහිඳු හිමියන් හමුවී පැය කීපයකින් ශ්‍රේෂ්ඨ බුදු දහම අවබෝධ කරගෙන ඇත. මේ කියමන් එකකට එකක් පරස්පර නොවේ ද?

බුදු දහම ලැබීමත් සමඟම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්‌ම සිදුවු බව පවසමින් මිහිඳු හිමිට පෙර ලාංකික සමාජය අසංවර්ධිතව තිබු බව පුන පුනා සඳහන් කර යි. මිහිඳු හිමිට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩි බව අමතක වුවා සේ ය. නා රජුන් රජකම් කළ බව, ඒ රජුන්හට නාම ගෝත්‍ර තිබු බව, ඒ රජුන්හට මැණික් සිංහාසන තිබු බව අමතක වුවා සේ ය. එය එසේ නම් මිහිඳු හිමි කළ සංවර්ධනය කුමක් ද යන්න ප්‍රශ්න කිරීම අයුක්තියක් ද?

මිහිඳු හිමිගේ ලංකා ගමන හේතුවෙන් ආධ්‍යාත්මික හා සදාචාරමය වශයෙන් සිංහලයන් ලැබූ ජයග්‍රහණ බොහොමයක් බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් පවස යි. පන්සිල් රකිමින් තම ජීවිතය හැඩ ගසා ගැනීම, ලංකා ජනතාව අවිහිංසාව ගරු කරන්නන් වීම, ඔවුන් ක්‍රීඩාව සඳහාවත් දඩ කෙළියෙහි නොගොස් සිටීම, පසු කාලයේ බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා දීම තුළින් ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය කර ගැනීම, බෞද්ධයන් පරාර්ථය සැලකීම තමුන්ගේ විශේෂ ලක්‍ෂණයක්‌ කර ගැනීම, පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක්‌ දැක්වීමට ජාතිය හුරුවීම, බුදු දහම තුළින් ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යය හෙළ ජනයාට ලැබීම, මහා විහාරය ද අභයගිරිය ද ඡේතවනාරාමය ද ආදී වශයෙන් වන විහාරස්‌ථ ආශ්‍රිතව විශ්වවිද්‍යාල බිහි වීම, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන් ජාතියක්‌ වශයෙන් දියුණු වීම ආදී වශයෙන් කෙරෙනා මහා ලැයිස්තුවකි මෙ ය. මේ සියල්ලම මිහිඳු ගමනට පෙර තිබු හෙළ ඉතිහාසය මකා දමා, අවතක්සේරු කර ඉන්දියාවට කඩේ යෑම මිස වෙන කුමක් ද? අද ලංකාවේ ජීවත්වන හෙළයා පරගැතිව, ඉන්දියාවට ම ආවඩන, ඉතිහාසක් නැති ඕපපාතික සත්වයන් ලෙස ජීවත් වීමට, 'ඉන්දියාව අක්කා ලංකාව නංගී' ලෙස සිතීමට, ඉන්දියාව පොහොසත් කිරීමට මේ වැරදි අර්ථකථන පාදක වී නොමැති ද?

ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය දෙදහස්‌ පන්සිය වසරකට වැඩි කලක්‌ රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසින් යැයි පවස යි. මෙයට දිය හැකි පිළිතුර වන්නේ සංචි තොරණේ තියෙන්නේ හෙළයෙන් භාරතයට වැඩමවූ බෝධිය බව අමතක කර ඇත, සිරි දළදා වහන්සේ (ශ්‍රී දළදා වහන්සේ නොව) ඇතුළු බුදුන්වහන්සේගේ සියලුම ධාතුන් වැඩ සිටින්නේ ඉන්දියාවේ නොව හෙළයේ බව අමතක කර ඇත, ත්‍රිපිටක ඉන්දියාවේ නොව හෙළයේ ලියු බව අමතක කර ඇත යන්න මිස අනෙකක් නොවේ.

පැවිදි වීමට බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක්‌ කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූ බව, දේශීය භික්‍ෂු පරම්පරාවේ නායකත්වය හිමි වන මහා අරිට්‌ඨ කුමාරයා මිහිඳු මා හිමියන් වෙතින් පැවිදි උපසම්පදා ලබා ගැනීම, සිංහල අපේ රටේ උපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌ පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැසගත් බව හා ඉන් පසු ලක්‌දිව පුරාම බුදු දහම ව්‍යාප්ත වු බව ආදිය පැවසීමට පෙර ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන්හට යමක් අමතක වුවා සේ ය. මිහිඳු හිමියන් හෙළයට ඒමට පෙර එහි ජීවත් වුවෝ අභිචාර, අමන, මෝඩ ජාතියක් ලෙස උන්වහන්සේ කලින් සඳහන් කර තිබීම එය යි. එවැනි ජාතියකින් පැමිණෙන්නෝ වසර කීපයක් ඇතුලත රහතුන් බිහිවීම දක්වා වන තත්ත්වයට මිහිඳු හිමියන් පත්කරන්නේ කෙසේ ද? මෙය මහා පුදුමයක් ම නොවේ ද?

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්‌ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමඟම ශ්‍රී ලංකාවේ ද ගමයි - පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැලසුණේ යැයි පවස යි. 'ලංකාවේද ...' යනුවෙන් අදහස් කරන්නේ එවැන්නක් ඉන්දියාවේ සිදුවුවා යැයි කීමද? අශෝක කාලයේ මධ්‍ය ඉන්දියාවේ භික්ශූන් වැඩ නොසිටි අතර අශෝක භික්ෂුවක් දැක්කේ කාලිංගයේ බවත් සඳහන් කරනු වැටී. එම භික්ෂුව ද හෙළයෙන් ගිය අයෙකු බව සිතීමට හේතුවන සාධක සමුහයක් නැත්තේ නොවේ.

වෙහෙර - විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ, අස්‌වනු පැසෙන තුරු විවේක කාලයක්‌ යොදාගෙන එම විවේකයේ දී ආගමික හා සංස්‌කෘතික කළ නිසාවෙන් ය යනුවෙන් පැවසීම සැබෑවටම බොලද තර්කයක් ම නොවේද?

මිහිඳු හිමිගේ ආගමනය නිසාවෙන් ඇති වූ කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව උත්කෘෂ්ට නිරාමිස ආස්‌වාදය ලැබුවා බව පවස යි. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වන බව පවස යි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් ද චිත්‍ර නිර්මාණයන් ද ලක්‌වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන් බව පවස යි. මිහිඳු හිමිගේ ආගමනය නිසාවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ කලා ශිල්ප දියුණු වුවා නම් එම කලා ශිල්ප තුළින් ඉන්දියානු ආභාෂය පිළිබිඟු විය යුතු ය. සෑම ඉන්දියානු කලා ශිල්පයක් ම වාගේ ජනිත කරන්නේ රාගය, දේවත්වය, මෙවුම්දම මිස නිරාමිස ආස්‌වාදය නොවේ. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් කිසිවක් ඉන්දියාවට නෑකම් නොකිය යි.

ඉතා දියුණු තාක්‍ෂණයක්‌ ඔස්‌සේ නිම වන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව ද සීගිරි බිතු සිතුවම් ඇතුළු සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන් බව ද සමාජ, සංස්‌කෘතික, ආගමික නවෝදයක්‌ ඇති කරමින් මේ සියල්ල හෙළයට ලැබුනේ පොසොන් පොහොය නිසාවෙන් බව ද එනම් මිහිඳු හිමියන් නිසාවෙන් බව ද පුන පුනා පැවසුව ද මේ කිසිවක ඉන්දියානු ලක්ෂණ තියෙනව ද යන්න සිතා බැලිය යුතු නොවේ ද?

මේ අනුව වාපි තාක්ෂණය හෙවත් වැව් තැනුවේත් මිහිඳු හිමියන් විසින් දැ යි? ප්‍රශ්න කිරීමට සිතුන ද වාසනාවට එවැන්නක් සඳහන් කර නැත. මුළු ලෝකයේම වැව නම් විශ්වකර්ම නිර්මාණය තියෙන්නේ හෙළයේ පමණක් බව, එය ඉන්දියානු තාක්ෂණයක් නොවනා බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් දැන සිටි බවකි.

මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක්‌ වූයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ටම පැවරීම යි යනුවෙන් සඳහන් කිරීමෙන් මුසාවාදයේ කෙළවරටම ගොස් ඇත. මෙය බුදුරජාණන්වහන්සේවත් නොකළ ක්‍රියාවක් නොවන්නේ ද? මිහිඳු මහ රහතන් වහන්සේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ඉන්දියානුවන්ට ලබා නොදීම දෙස සැකයෙන් තොරව බැලිය හැකි ද?

ලාංකික මවුපිය දෙපළකගේ දරුවකු ලංකාවේදී ම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා ලංකාවේදී ම විනය සංගීතියක්‌ පවත්වා සසුන මුල් බැස ගන්නා බව දේශීයත්වයට ප්‍රමුඛස්‌ථානය දෙමින් මිහිඳු හිමියන් පැවසුවේ යැයි ලිවීම, බුදුන්වහන්සේවත් අනුදැන වදාරා ඇතැති සිතිය නොහැකි සිතලුවක් ම නොවේ ද?

සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන්වහන්සේලාට ඉගැන්වූ බව පවස යි. අසීලාචාර සිංහලයන් ක්ෂණිකව ම සීලාචාර වී ඇති සේ ය. අසීලාචාර සිංහලයන් ත්‍රිපිටක ධර්මය උගැන්මට පවා දියුණුවී ඇති බව, එවැන්නක් මිහිඳු හිමියන් කළ බව පුදුමයක් ම නොවේ ද? වැරදී ඇත්තේ කොතන ද? සීලාචාර සිංහලයන් අසීලාචාර සිංහලයන් ලෙස හැඳින්වීම ද? නැතහොත් මිහිඳු හිමි නොකළ දෙයක් සිදු කළා යැයි කියමින් හෙළයාගේ ශ්‍රේෂ්ටත්වය පාගා දැමීම ද? තවද, මෙයට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩි ගමනේ බුදු මග ගිය හෙළයන් සිටින්නට ඇත යන්න ද මුලුමනින්ම අමතක කර දමා ඇතුවා සේ ය.

මිහිඳු හිමියන් ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවාද පිළියෙල කළ බව පවස යි. හිරිකිතයක් නැතිව

මෙවැන්නක් පවසන්නේ කෙසේ ද? මින් ඉහත අකුරු බැරි සිංහලයන් යැයි හංවඩු ගසා පසුව මිහිඳු හිමිගේ ජීවිත කාලය තුළදී ම ඔවුන්හට ලිඛිත සිංහලයක් ලැබූනේ කෙසේ ද? මේ වෙන දෙයක් නොව අපබ්‍රංශක්ම නොවේ ද?

මිහිඳු හිමි වඩින්නට පෙර හෙළයා අත්විඳි ලිඛිත බසින් පිරි උදාර සංස්කෘතිය පිළිබඳව කියාපාන කරුණු කාරණා දැන් දැන්, සම්ප්‍රදායට වැඳ වැඳ නොසිටිනා උගතුන්ගේ උත්සාහය හේතුවෙන්, හෙලිදරව් වෙමින් පවතී. 'බුදුන්වහන්සේ මෙරටට වැඩම කිරීමටත් පෙර මෙරට බුදු දහම පැතිර තිබු බවට සාක්ෂි ලැබී ඇතැ' යි කැලණිය විශ්වවිද්‍යායේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් පසුගියදා කළ හෙලිදරව්වේදී මිහිඳු හිමි වැඩීමට පෙර භික්ෂුන්වහන්සේ වෙනුවෙන් 'අක්ෂරයෙන් ලියා පූජා කළ ගල්ගුහා' හමුවූ බව පවසා සිටියේ ය.  (විඩියෝව බලන්න)
මිහිඳු මා හිමියන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවකම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූවා යැයි පවසනා විට දිවයින පුරාම වන වෙහෙරයන් හී රෝපණය කිරීම සඳහා කොපමණ බීජ සංඛ්‍යාවක් අවශ්‍යය වන්නට ඇති ද යන්න අමතක 

වුවා සේ ය. වසර 28 ක්‌ පමණ වන මිහිඳු හිමිගේ ජීවිත කාලය තුළ මෙවැන්නක්, මෙවැනි මහා ව්‍යාප්තියක්, සිදුකළ හැකි ද? සැබෑව නම්, මෙවැන්නක් කිරීමට සැබෑවටම අවශ්‍ය නොවී ය යන්න යි. ඒ, බෝධි සංස්කෘතිය හෙළය තිබුනේ මිහිදු හිමිට පෙර කාලයේ සිට නිසාවෙනි.

පසුකාලීනව වැඩිදියුණු වූ ලංකා බෞද්ධ කලා ශිල්පවලට පදනම වැටුණේ, සම්බුද්ධ ශාසනය චිරස්‌ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්‌ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ යැයි කීමට පෙර මිහිඳු හිමි වැනි නික්ලේශී රහත් උතුමෙකු මෙවැනි ලෞකික දේ දියුණු කිරීම සඳහා පදනම දමාවි ද? යන්න අමතක කර දැම්මේ කෙසේ දැයි සිතීම වටී.

වසර 28 ක්‌ පමණ මෙරට ශාසනය වෙනුවෙන්ම ඇප කැපවී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ උපතින් සැට වන වියෙහි පසු වෙද්දී දෙවන පෑතිස්‌ රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළ යැයි පවස යි. මහරහත් මිහිඳු හිමියන් පිරිනිවන්පාන්න ඉන්දියාවට නොගියේ ඇයි? උන්වහන්සේගේ ධාතුන් වහන්සේ හෙළයේ, අම්පාරේ රජගල, තැම්පත් කලේ ඇයි? යන්න මෙහිදී සිතිය යුතු කරණා නොවන්නේ ද?

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS