4.13.2012

අවුරුදු

බක්මහේ
වැස්ස ගලන
සුනිල් දිය පාරට
ගිහින් දැම්මා
පොඩි පොකුණේ
මාළු පැටව්
මහ රොත්තම.

මා වවුලෙක් පියාඹනවා

මා වවුලෙක්
පියාඹනවා.
ජීවිත ගමනේ
සියලු දුක්ඛ දෝමනස්සයෝ
අත්විඳි
වියපත් මහල්ලෙකු
කතා බහක් කිසිත් නැතිව
බර අඩි තබමින් සෙමින් සෙමින්
මඟ යන්නා සේ,
ඈත මෑත ඉම නොපෙනෙන
විසල් අහස මැද
මන්දාරම්
අඩ අඳුරේ
මා වවුලෙක්
පියාඹනවා.
දිගු පියාපත් සලා
හාවක් හූවක් කිසිත් නැතිව
මා වවුලෙක්
පියාඹනවා.

4.09.2012

ජීවිතයත් මහ වැස්ස වගේ

ජීවිතයත්
මහා වැස්ස වගේ,
කොහෙන්ද එන්නේ
කොතැනද යන්නේ
නෑ දන්නේ.
පොරෝනෙට ගුලිවෙච්ච
කිරි සිනා
හඬ ඇසුනා,
අතීතයේ බක්මහේ
මගෙ සුවඳ
මම වින්ඳා.
ජීවිතයත්
මහා වැස්ස වගේ.
මහ අහස කළුවුණා
විදුලි එළි විහිදුණා
ගස් වැල් ද අඹරවා
හෝ හෝව පැතිරුණා
තෙත්කරන් මහ පොළොව
අහස්දිය රජවුණා.
අදත් ඒ වගේමයි,
මහා වැසි වැටෙනවා
අහස් දිය ගලනවා.
එත්
ළගක නෑ කිරි සිනා
කොතැනකද දන්නේ නෑ.
ජීවයක් කිසිත් නැති
ජීවිතය ගලනවා.
ජීවිතයත්
මහා වැස්ස වගේ.

4.04.2012

වෙනස

වෙහෙර දොර අත ලඟයි
යන්න එහි සිතක් නැත
පැන්කලේ කොනක ඇත
සිඟිති දෑ එතැන නැත
සුමුදු වැලි මළුව ඇත
සුවඳ දුම් කූරු නැත
වෙහෙර දොර අත ලඟයි
යන්න එහි සිතක් නැත
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS