3.13.2015

බුදුදහමට අවමන් කිරීම


2008 වර්ෂයේදී, ස්වභාවික ව්‍යසන පිළිබඳව චීනයේ කුන්මින්ග්හි (Kunming) පැවති සමුළුවකට සහභාගිවීම සඳහා යන අතරතුරේදී මට හමුවූ මොන්ගෝලියානු ජාතික මහාචාර්යවරයෙකු, අප කෝපි පානය කරන අතරේ ආගම් සම්බන්ධව පැවති සාකච්ඡාවකදී පහත දැක්වෙන කතාව මා හට පැවසුවේ ය.


ඈත අතීතයේදී, එක්තරා රාජවංශයක, යෙමින්ග් (Yeming) නමින් ඉතා {dණවන්ත යුධ සේනාධිපතියෙකු සිටියේ ය (මම එය මෙන්ග්\Meng රාජධානිය ලෙස හඳුන්වමි). රටවැසියන් ඔහු සැලකුවේ බුදුදහම ආරක්ෂා කිරීම හා එහි උන්නතියට කටයුතුකරන ප්‍රධානියෙකු වශයෙනි. නිර්භීතකම මෙන් ම ප්‍ර{dව සම්බන්ධයෙන් ද ඔහු ප්‍රසිද්ධියක් ඉසුලුවේ ය.



මෙම රාජධානියට ආසන්නයේ වූ අබෞද්ධ රාජ්‍යයක පාලකයකු මෙන්ග් රාජධානිය හා යුධ වැදීම සඳහා කුමන හෝ හේතුවක් සොයමින් සිටියේ, ඔහුගේ අදහස මුදුන්පමුණුවා ගැනීම සඳහා ඉතා සියුම් අදහසක් සොයාගැනීමට සමත් විය. අර්ධ-උමතු පුද්ගලයෙකු කැඳවූ මෙම පාලකයා, මෙන්ග් රාජධානිය වෙත ගොස් යෙමින්ග් ඉදිරියේදී බුදුදහමට අගෞරව වන ආකාරයෙන් බැනවදින ලෙසට ඔහුට උපදෙස් දුන්නේ ය.


බොහෝ දුර මඟ ගෙවා මෙන්ග් රාජධානිය වෙත පැමිණි මෙම පුද්ගලයා, රජ මාලිගාවේ විවෘත අංගනයක තම මිත්‍රයින් හා කතාබහේ යෙදී සිටි යෙමින්ග් පෙනෙන ඉසව්වට ඇවිද ගියේ ය. එසේ ගොස්, ඉතා අශෝබන වචනයෙන් බුදුදහමට බැනවදින්නට පටන් ගත්තේ ය. එම ස්ථානයේ සිටි සියලු දෙනා යෙමින්ග් දෙස බැලුවේ, ප්‍රකෝපයෙන් වියරු වැටුණු ඔහු, අපහාස කරනා පුද්ගලයාගේ හිස ගසාදමනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.


උමතු පුද්ගලයා විසින් බුදුදහමට අවමන් ලෙස කළ සෑම ආකාරයකම අවනීත ක්‍රියාවන් අසා සිට නැගී සිටි යෙමින්ග්, රැස්ව සිටි සැමදෙනා ම පුදුමයට පත් කරමින්, ඔහුගේ සහයකයකුහට කියා සිටියේ, දිගු ගමන හා සීමාවක් නැතිව කෑ ගැසීම හේතුවෙන් එම පුද්ගලයාට කුසගින්න හා පිපාසාව තිබිය හැකි නිසාවෙන්, ඔහුට කෑමට හා බීමට යමක් දෙන ලෙස ය.


සිත්තැවුලට පත් මිත්‍රයින් යෙමින්ග්ගෙන් විමසා සිටියේ, ඔහු ගරුකළ ආගමට එරෙහිව කෑමොරදුන් පුද්ගලයා කෙරෙහි ඔහු කෝප නොවුයේ ඇයි ද යන්න යි. මුහුණේ සිනහව රඳවා ගත් යෙමින්ග්, මහත් ආනුභාසම්පන්න හා සන්සුන් හඬකින් මෙසේ පැවසී ය.


"බුදුදහම යනු හේතු ඵලය විස්තර කරන දර්ශනයක්. එය මිනිසුන්ගේ සිතීමේ මාත්‍රයේ, එනම්  මන:කල්පිතයේ, පමණක් පවතිනා අත්‍යථ භාවයක් පිළිබඳ විශ්වාසයක් නොවේ. මන:කල්පිතයෙන් යුතුව යමකට වන්දනාමාන කරන අය පමණි, ඔවුනගේ විශ්වාසයට යම් කෙනෙකු අවමන්කර බැනවැදුන හොත් බිය වන්නේ. ඒ, ඔවුනගේ මන:කල්පිතයන් කැඩී බිඳී විසිරී යාවි යැයි, යන සරල හේතුව නිසාවෙන්."


යෙමින්ග් තව දුරත් කියා සිටියේ, "මම මෙම මිනිසා මරාදැමුවහොත්, නගරය අවට ප්‍රදේශයන්හි මේ දෙයම සිදුකරන තවත් පුද්ගලයකු හෙට දිනයේ බිහිවනු ඇත. මා එහි ගොස්, එම පුද්ගලයාව ද මරා දැමුවහොත්, එවිට, තවත් අයෙකු කඳුකරයේදී එම දෙයම සිදුකරනු ඇත. එම තැනැත්තා මරාදැමීම සඳහා මම මාගේ කාලය හා ශක්තිය වැය කරමින් එම ස්ථානයට ගමන් කළහොත්, බුදුදහමට අවමන් කරන්නන් සිය දහස් ගණනින් රාජ්‍ය සීමාව හරහා පෙළගැසී සිටිනු ඇත. ඔවුන්ට පහරදීම, යුධයකට මුලපිරීමක් වන අතර එය දහස් ගණනකගේ ජීවිත අහිමිවීම හා බොහෝ ධනය විනාශ වීම කෙරෙහි හේතුවනු ඇත. අවසානයේ, එවැන්නක් කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? යම් අයෙකු විසින් පැවසූ යම් දෙයක පෙළඹවීම නිසා අනුවණ ලෙස ක්‍රියාකිරීමෙන් බුදුදහමට මුළුමනින්ම විරුද්ධ දෙයක් කරන අප බොහෝ සම්පත් අපතේ යවනු ඇත."


මෙසේ කතා කළ යෙමින්ග් ම, බොහෝ අවස්ථාවලදී, ඔහුගේ රටේ බෞද්ධ ආරාම විනාශ කිරීම සඳහා පැමිණි සතුරන් විනාශ කිරීම සඳහා ඉතා ප්‍රබල ලෙසින් සටන් වැදුණේ ය.


 'හේතු ලය' වටහාගැනීම බුදුදහමේ සැබෑ සාරය වේ.
මෑතකදී මේ හා සමාන තවත් කතාවක්, වඩාත් ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක් වන ඕස්ට්‍රේලියානු ජාතික අජාන් බ්‍රහ්ම මහ තෙරුන්වහන්සේ (Ven. Ajahn Brahmavamso Mahathera) විසින් පවසනු අපි අසා ඇත්තෙමු.


'යම් අයෙක් ත්‍රිපිටක ග්‍රන්ථ (බුදුදහමේ ශුද්ධ ලියවිලි) ඉරා, වැසිකිලි වළකට දමා වතුර දමා සෝදා හැරියහොත් එයට ඔබ කෙසේ ප්‍රතිචාර දක්වන්නේද?' යැයි උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයකට උන්වහන්සේ ලබාදුන් පිළිතුර වූයේ 'මම ඉක්මනින්ම ජල නළ කාර්මිකයෙකුහට එන්න කියනවා' යන්නයි. 

අජාන් බ්‍රහ්ම මහ තෙරුන්වහන්සේ ඡායාරූප උපුටා ගැනීම  - Wikipedia වෙබ් අඩවිය
අවමන් කිරීම් හා සම්බන්ධ සිද්ධීන් බොහොමයකට, බුදුන්වහන්සේට උන්වහන්සේගේ ජීවිත කාලයේදී ම මුහුණ දීමට සිදුවිය. වරක්  එක්තරා කාන්තාවක් ඇය ගැබිනියක් ලෙස පෙන්වීම සඳහා දර මිටියක් ඇයගේ ඇඳුම්න් වසාගෙන පැමිණ, දරුවාගේ පියා බුදුන්වහන්සේ යැයි කියා සිටියේ ය. කිසිඳු ආකාරයකින් සසල නොවූ උන්වහන්සේ , සත්‍ය හෙළිදරව් වීමට කාලයට බාරදුන්නේ ය. ඔබට ඔබ කෙරෙහි නිසැක විශ්වාසය ඇත්නම්, වෙනත් අය විසින් පවසන දේ පිළිබඳව වදවීමට අවශ්‍ය වන්නේ නැත.  


වෙනත් අයෙකු විසින් බුදුදහමට නිග්‍රහකිරීම පිළිබඳව වන මාගේ පළමු අත්දැකීම ලැබුවේ මීට වසර 10ක් වැනි කාලයකට පෙරදී ය. ඉතා තීව්‍ර ක්‍රිකට් තරගයකට පසුව, අප අසල්වාසී නිවසකට වී තේ රස විඳිමින් පසුවුනෙමු (ශ්‍රී ලංකාවේදී, ඔබ යම් නිවසකට මුළුමනින් ම අමුත්තෙකු වුව ද තේ කොප්පයක් රස නොවිඳ පිටව යා නොහැකිය).


අප අතර සිටි එක් ක්‍රීඩා සගයෙකු වයසින් වැඩි (එවකට වයස 20 පමණ වූ) සැදැහැවත් බෞද්ධයක් විය. ඔහු  බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේ ගුරුවරයකු විය. මම ඔහු වසන්ත අයියා ලෙස හඳුන්වන්නෙමි.

බෞද්ධයන් නොවන බොහෝ අය ද අපගේ මිත්‍රයින් අතරේ විය. ඔවුන් අතරින් එක් අයකු, ආගම සම්බන්ධ සාකච්ඡාවලදී හැර අනෙක් සෑම අවස්ථාවකදී ම ඉතා කදිම පුද්ගලයෙකු විය. 

අවාසනාවට, මෙම දවසේ මාතෘකාව බුදුදහම දෙසට ඇදී ගියේ ඒ අවස්ථාවේ බෙල්ලන්විල විහාරයේ පවත්වමින් තිබූ පෙරහැර හේතුවෙනි. ක්‍රමයෙන් කෝපවූ මෙම පිරිමි ළමයා, බුදුදහම පිළිබඳව ඉතා පිළිකුල් සහගත සිත් වද දෙන දේ පැවසීමට පටන්ගත්තේ ය. එම ස්ථානයේ රැස්ව සිටි අප හැම දෙනාම ඔහුගේ කියමන් පිළිබඳව කොහෙත් ම සතුටු නොවූව ද, එක් බෞද්ධයකු හෝ ඔහුට එරෙහිව කරුණු ගෙනහැර දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.  

එවිට පන්සලක් හා කඩදාසි කොළයක් ඇදගත් මෙම පිරිමි ළමයා, බුදු පිළිමයකට සමාන දළ රූප සටහනක් ඇන්ඳේ ය.

ඔහු තමන් ඇඳි රූප සටහන අපට පෙන්වා, 'මේ උඹලාගේ බුදුන්. මම ඔහුට වෛර කරනවා. වෛර කරනවා' යනුවෙන් මොරදෙමින්, වේගයෙන් එම දළ රූප සටහනට පැන්සලෙන් අනින්නට පටන්ගත්තේ ය. 

ඔහුට පිළිතුරක් දීමට, අප අතර සිටි එක් බෞද්ධ මිත්‍රයකු නැඟී සිටිය ද, ඔහු සන්සුන් කළ වසන්ත අයියා, තමාගේ මෘදු කටහඬ අවදි කළේ ය.

'මල්ලි, ඔයා මහ මෝඩයෙක්. ඔයා මොකක් ද දෙයක් ඇන්ඳා. ඒක මේ දෙය කියලා කිව්වා. පස්සේ මහා කේන්තියෙන් ඒක විනාශ කළා. ඔයාට ඒක ඕනෑම පාරක් කරන්න පුළුවන්. ඒත්, ඒකට ඔයාගේ පැන්සල් හා කඩදාසි පාවිච්චි කරන්න. අපි ඔයා ඉන්නා කොහෙද කියලාවත් බලන්න එන්නේ නෑ' යැයි කිවේ ය.

විශාල කෝපයකින් වියරු වැටුණ පිරිමි ළමයා, 'මම උඹලාගේ පන්සලට ගිහින් එහෙ තියෙන හැම පිළිමයක්ම කඩා දානවා' යැයි කෑ ගසන්නට විය.

දත් නියවමින් එහෙත් පහත් හඬකින්, 'හරි, ඔයා එක කරලා බලන්න, සමහර විට ඔයාට ලෙඩ්ඩු ගෙනියන මැස්සක් ඕන කරාවි. නැත්නම්, ඔයා ඒක කරන්න කලින් ඇම්බුලන්ස් එකක් ලැස්තිකරලා තියාගන්න එක  හුඟක් ප්‍රයෝජනවත් වෙයි' යැයි වසන්ත අයියා කීවේ ය.

ඉන් පසුව, කේන්තියෙන් ඉන්නා පිරිමි ළමයාගේ උරහිස්වලට අතින් තට්ටු කළ වසන්ත අයියා 'මල්ලී, මේ බලන්න, අපට තිබිච්ච ලස්සන හැන්දෑව ඔයා නැතිකරලා දැම්මා. ඔයාගේ ලේවලට හුගක් විෂ ඇතුල් කර ගත්තා. ඒ වගේම මට හොඳටම විශ්වාසයි, අද රෑට ඔයාට හොඳ නින්දක් ලැබෙන්නේ නැති බව. මේ හැම එකක ම ඇති ප්‍රයෝජනය මොකක් ද? ඔයාගේ ආගම සම්බන්දයෙන් ඔයාගේ සිත වෙනස් කරන්න අපේ කතාව හේතුවෙයි කියලා ඔයා හිතුවා. ඔයාට ඔයාගේ ආගම ගැන විස්වාශයක් නෑ. දැන්, දිග හුස්මක් අරගෙන සන්සුන් වෙන්න. අපි තවමත් ඔයාගේ හොඳ යාළුවො'.

ඉන් පසුව වසන්ත අයියා අප හැමටම අමතක නොවන අවවාදයක් දුන්නේය.

'බෞද්ධයකුට ම මිස කිසිම අයෙකුට බුදුදහමට අවමන් කරන්න බෑ. ඔයා ඔයාට බෞද්ධයක් කියන ගමන් ම පන්සිල් කඩකරන එක, වැරදි දේ කියන එක, අවිනීත විදිහට හැසිරීම හා වෙනත් අයට කරදර පීඩා කිරීම වගේ දේවල් කරනවා නම්, ඔයා බුදුදහමට අවමන් කරනවා පමණක් නොවෙයි එය විනාශ කරන්න ද කටයුතු කරනවා'.

දැන්, මගේ සමහර ලිපි කියවා ඇති අය, මම {dණසාර හිමියන් හා බොදුබලසේනා ව්‍යාපාරය දැඩි විවේචනයට ලක්  කරන්නේ ඇයි ද යන්න පිළිබඳව වටහාගනු ඇත. ඔවුන් විසින් බුදුදහම ආරක්ෂා කරන්නේ යැයි කියා සිටිය ද ඔවුන්ගේ හැසිරීම මුලුමනින් ම ආගම වෙනුවෙන් කරනා අවමානයකි.

වෙනත් රටවල සිටින මිනිසුන්, බුදුදහම වෙනුවෙන් කරන්නේ කුමක් ද? යන කාරණාව ගැන කනස්සල්ලෙන් පසුවීම සැබෑවට ම ප්‍රයෝජනයක් නැති වැඩකි.  ලිපි හා කාටූන් පළ කිරීම,  බැනර් ප්‍රදර්ශන කිරීම, බුද්ධ බාර් නමින් තැබෑරුම් පවත්වාගෙන යෑම, බුදුන්වහන්සේගේ රූප ඔවුන්ගේ යට ඇඳුම්වල මුද්‍රණය කිරීම, රූප ගත කිරීම සඳහා සෑදු බුදුපිළිම වහන්සේලා වටා රංගනයේ යෙදෙනා කාන්තාවන් සිටින ගීත නිර්මාණය කිරීම හා තව නොයෙක් දේ ඔවුන් විසින් සිදු කරනවා විය හැක. මේ කිසිදු ක්‍රියාවක් නැවැත්විය හැකි දේ නොවන අතර මේ කිසිදු ක්‍රියාවකට බුදුදහම කෙරෙහි ඉතා කුඩා හෝ බලපෑමක් සිදු කළ නොහැක.    

යම් පුද්ගලයකු, වැලි හා බදාම පාවිච්චි කර පිළිමයක් සාදා, එය බුදු පිළිමය යැයි නම් කර, එම පිළිමයට අවමන් කර එය විනාශ කර දැමුව හොත්, මෙම මුළු ක්‍රියාවලියෙන් ම පෙනීයන්නේ එම 'පුද්ගලයාගේ' මෝඩකමයි. ලොව සිටිනා සැබෑ බෞද්ධයින්, එම ක්‍රියාව සම්බන්ධයෙන් සිත් තැවුල් සාදාගත යුතු නොවේ.

කෙසේ වෙතත්, යම් ආක්‍රමණිකයකු, බලහත්කාරයෙන් ඇතුල්වන අයකු හෝ යම් උමතු තැනැත්තෙකු බෞද්ධ කලා කෘති විනාශ කිරීම හෝ වෙනස් කිරීම කරන්නේ නම් හෝ රටේ පවතින වන්දනීය ස්ථාන තුළ නොහික්මුණු හෝ අවනීත හැසිරීමක් පෙන්නුම් කරන්නේ නම්, ඒ වෙනුවෙන් විරුද්ධ වී නැඟී සිටීම සඳහා සෑම බෞද්ධයකුහට ම අයිතියක් තිබේ. ඒ අයිතිය පවතින්නේ, බුදුදහමට අවමන් කිරීම යන කාරණාව මත නොව රටේ සංස්කෘතිය හා උරුමය බලපෑමට ලක්වී ඇත යන කාරණාව මත ම වේ.    

මනස දමනය කිරීම සහ සමාධි ගත කිරීම වෙනුවෙන් යොදාගත හැකි  වස්තූන්ය යන කරුණ හැරුණ කොට; කළුගල්, වැලි හා බදාම පාවිච්චිකර නිර්මාණය කළ පිළිමයක් තුළ බෞද්ධයකුහට ගත හැකි මොන යම් හෝ අධ්‍යාත්මික වටිනාකමක් නැත.

නමුත්, ඒවා තුළ පුරාවිද්‍යාත්මක හා ජාතික වටිනාකම් නැත්තේ නොවේ.



මූලාශ්‍ර - මහාචාර්ය චන්දිම ගෝමස් (විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මාහාචාර්ය, ප්‍රධානී/විද්‍යුත් චුම්භක හා අකුණු ආරක්‍ෂණපිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය, මලයාසියාවේ Putra විශ්වවිද්‍යාලය) විසින් Insulting Buddhism යනුවෙන් ලියූ ලිපිය

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS