11.02.2012

පාළුව

පාළුයි, හරිම පාළුයි
හැම තැනම.
අඳුරුයි, හරිම අඳුරුයි
හැම තැනම.
පාළු අඳුර හිරවෙනවා
හිත් ගුලිය ඇතුළට
තව තවත්.

කිරි සුවඳක් එවාලා
මුදු තෙපුලක් එවාලා
ඈත ඉඳන් හෝ අත වනාලා
ගලවාගන් මා
මේ පාලුවෙන්
මේ අඳුරින්
මොහොතක්,
එක් මොහොතක්.

10.09.2012

අඩ සඳුන් නළල් මත දරන්නී

අඩ සඳුන් නළල් මත දරන්නී   
මිගු නුවන් බැළුම් නිති හෙලන්නී
රැඟුම් දෙන හසුන් ලය හිඳින්නී
කොතන කොයි ඉසව්වේ වසන්නී

කියඹු වැල් පිට තලා දුවන්නී
රත් නෙළුම් දෙතොල් මත පිපෙන්නී
පුලුළුකුල ගමන් මන බඳින්නී
කොතන කොයි ඉසව්වේ වසන්නී

මුදු තෙපුල් සවන් මත් කරන්නී
මකරන්ද මුදු සුවඳ හමන්නී
සඳ පහන් රැයක නිදි වරන්නී
ගත සිතේ පහන් සුව සදන්නී

8.05.2012

නුඹ අතේ වරද නැත

එපා තව රිදවන්න
නුඹ ලපටි සිත් මඩල
දවාලයි ඒ සුසුම්
මගේ සියොලඟ නිබද
මට එපා නුඹ එපා
කියූ ඒ අතීතය
මතක අවසන් නොවේ
රිදුම් දී මා දෙනෙත
නුඹ අතේ වරද නැත
ලපටි නුඹ දන්නේ නැත
යම් දිනක හෙට දවස
නුඹට එය දැනෙනු ඇත

5.17.2012

මට නොවනා නුඹ

නුඹ දෙනෙත් දකින්නේ
ඈ දෙනෙත් මැවෙන්නේ
නුඹ සුවය දැනෙන්නේ
ඈ සුවඳ සොයන්නේ

මා තුරුල නුඹට ඇත
ඈට උණුසුමක් නැත
මා සෙවණ නුඹට ඇත
ඈට හව්හරණ නැත

නුඹ දෙනෙත් දකින්නේ

නුඹ රුහිරු මගෙ නොවේ
එත් නුඹ මා ලඟයි
ඈ රුහිරු මගේ තමයි
එත් ඈ මට දුරයි

නුඹ දෙනෙත් දකින්නේ

5.08.2012

හිනාවෙයන්

ඇයි ඔතරම්
බුම්මාගෙන
අඳුනන්නේ නෑ වාගේ
හිනාවෙයන්
හිනාවෙයන්
අතීතයේ කළා වගේ,
ඈත ඈත අතීතයේ
හිරු සඳු නැති
හිරු සඳු ඇති
ඒ ලෝකේ
මා සමඟින්
නුඹ සිටියා
මතකයි මට
මේ අද වාගේ.
රැවටීම්
ගැරහීම්
මහ මුසා
සිත් තැවුල්
ඕනේ නෑ
තවත් මට,
වංකකම දැක්කේ මම
නුඹගෙන් විතරයි,
අතීතයේ කළා වගේ
හිනාවෙයන්.
නුඹ දන්නේ
නෑ එහෙනම්
අලුත් ඉරක්
අලුත් සඳක්
දැක්කා මම
නුඹ දෙතොල්
මත රැඳුනු.
අන්න එහෙම
අන්න එහෙම
හොඳටෝම හිනාවෙයන්
කොක් හඬලා
හිනාවෙයන්
හොඳටෝම
හොඳටෝම.

5.05.2012

බුදු සිසිල දැනීයන්

වෙසක් සඳ පායලා
වෙනදාටත් වඩා
විශාලෙට.
වෙසක් සඳ පායලා.
කිරි සිනා නැත.
කිරි සුවඳ නැත.
බුදු සිසිල දැනෙයි මට.
බුදු මිහිර ඇසෙයි මට.
මට දැනෙන
බුදු සිසිල
මට ඇසෙන
බුදු මිහිර
දැනීයන්
ඇසීයන්
මට වගේ
මගේ පුතුට.

වෙසක් සඳ හා පුතුන්

හිනැහෙනවා
පෑයු මහ වෙසක් සඳ,
වෙනදාට වඩා
පායලා මහ ලොකුවට
ආකාසේ පුරාවට,
මහා ලොකු වෙසක් සඳ.
සඳ කැලූම් ගලනවා
බුදු සිසිල ගලනවා.
ගං ඉවර අද්දරින්,
සනසවා සිත
සනසවා ගත.
සැහැල්ලූයි දෙවුර මට.
කිරි සුවඳ
කිචි බිචිය
බරක් නැත
දෙවුර මත.
පායද්දී වෙසක් සඳ
ලබනවර මේ වගේ
දැනීයන්
මහ බරක් දෙවුර මත.
කිරි සුවඳ
කිචි බිචිය
ගලනු ඇත
හිස් උඩින්
මහ බරට.
සඳ සිසිල
බුදු සිසිල
සඳ සුවඳ
බුදු සුවඳ
දැනීයන්
මගෙ පුතුට.

4.13.2012

අවුරුදු

බක්මහේ
වැස්ස ගලන
සුනිල් දිය පාරට
ගිහින් දැම්මා
පොඩි පොකුණේ
මාළු පැටව්
මහ රොත්තම.

මා වවුලෙක් පියාඹනවා

මා වවුලෙක්
පියාඹනවා.
ජීවිත ගමනේ
සියලු දුක්ඛ දෝමනස්සයෝ
අත්විඳි
වියපත් මහල්ලෙකු
කතා බහක් කිසිත් නැතිව
බර අඩි තබමින් සෙමින් සෙමින්
මඟ යන්නා සේ,
ඈත මෑත ඉම නොපෙනෙන
විසල් අහස මැද
මන්දාරම්
අඩ අඳුරේ
මා වවුලෙක්
පියාඹනවා.
දිගු පියාපත් සලා
හාවක් හූවක් කිසිත් නැතිව
මා වවුලෙක්
පියාඹනවා.

4.09.2012

ජීවිතයත් මහ වැස්ස වගේ

ජීවිතයත්
මහා වැස්ස වගේ,
කොහෙන්ද එන්නේ
කොතැනද යන්නේ
නෑ දන්නේ.
පොරෝනෙට ගුලිවෙච්ච
කිරි සිනා
හඬ ඇසුනා,
අතීතයේ බක්මහේ
මගෙ සුවඳ
මම වින්ඳා.
ජීවිතයත්
මහා වැස්ස වගේ.
මහ අහස කළුවුණා
විදුලි එළි විහිදුණා
ගස් වැල් ද අඹරවා
හෝ හෝව පැතිරුණා
තෙත්කරන් මහ පොළොව
අහස්දිය රජවුණා.
අදත් ඒ වගේමයි,
මහා වැසි වැටෙනවා
අහස් දිය ගලනවා.
එත්
ළගක නෑ කිරි සිනා
කොතැනකද දන්නේ නෑ.
ජීවයක් කිසිත් නැති
ජීවිතය ගලනවා.
ජීවිතයත්
මහා වැස්ස වගේ.

4.04.2012

වෙනස

වෙහෙර දොර අත ලඟයි
යන්න එහි සිතක් නැත
පැන්කලේ කොනක ඇත
සිඟිති දෑ එතැන නැත
සුමුදු වැලි මළුව ඇත
සුවඳ දුම් කූරු නැත
වෙහෙර දොර අත ලඟයි
යන්න එහි සිතක් නැත

3.25.2012

මම දන්නා පුංචි පුතෙක්

හුරතලේට
කතා ගොඩක්
දෝරේ ගලනවා.
මහ වෙහෙරට
ඔබ්බෙන් ඇති
මහ පාරේ
මහ දවාලෙ
මා පසුකර
මම දන්නා
පුංචි පුතෙක්
කොහෙදෝ යනවා,
මා ගැන
කිසි වගක් නැතිව
මම දන්නා
පුංචි පුතෙක්
මා පසුකර
හැමදාමත්
ඉරිදා දවසේ
මහ දවාලෙ
කොහෙදෝ යනවා.

2.12.2012

පුර පෝයට පායන සඳ

පුර පෝයට පායන සඳ
දුවලා ගිහින් සොයන්න
මා ළග නැති මගෙ උණුසුම
ඉන්නවාද බලන්න

ලයට උඩින් තුරුළු කරන්
නැත උණුසුම විඳින්න
කිරි සුවදක් අහලක නැත
එපා ඒක කියන්න

පුර පෝයට පායන සඳ

සමනල්විය එළැඹි දිනේ
එපා දෙනෙත තෙමන්න
දෙතැනක අප තනිවුණාට
එපා දොසක් කියන්න

පුර පෝයට පායන සඳ
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS