6.20.2014

කුරුල්ලෙකුවෙලා

මිහිදුම් සළු ඉරාදමා
නීලවර්ණ
කුළුදුල් දියකඩිති උඩින්
මහ රත්මල් තුරුමත්තේ
ලැග ඉදිමින්
නිමේශයක්
මහඑළි තැන්නට
ඉහළින්
පියාඹන්න ඇත්නම්,
අනේක රස
විසිතුරු ඵල
තුඩ'ගින් ගෙන
මුවෙහි හෙලා
කුස සනසා
සිතු ලෙසේ
වගක් නැතිව
කොතරම් සීතල දැනුනත්
ඉවසන්නට බැරි තරමට
ඇඟ පිහාටු පුම්බාගෙන
අතු පතරේ
දුවන්න ඇත්නම්,
කිරි බැබළෙන
සඳ වතුරේ
නැහැවි නැහැවි
මිණි කැටවන් ඇස් දල්වා
පිණි නැහැවුණු නව තණපත්
මුවෙහි හෙලා
පෙම් කෙලිනා
ගෝනුන් කැල
ඉන්න ඉසව්වට ඔබ්බෙන්
තුරු වදුලේ සැඟවීලා
බලාන ඉන්නට ඇත්නම්,
අන් සැනසිල්ලක්
කුමටද
කරදර පොදිබැදි
මේ ජීවිතයේ.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS