තැබුවෙමි දෙපා
ජීවිතයෙ මුල්වරට
පන්සියයක් රහතුනට
වාසභූමි වූ
අරිට්ඨ පබ්බතයට.
අශෝක රජ පුත්
මහ රහත් මිහිදු හිමි
සිරිලක පැමිණිදා
දෙවනිපෑතිස් රජුන්ගේ
අරිට්ඨ නම් ඇමතිතෙම
බුදු වදන් අසා
අරි අටමගෙහි ගමන්කර
කෙලවර ලබාගත්තේ
නිවන් මඟ.
ඔහු ඇතුළු
පන්සියයක්දෙන
සසුන් ගතවිය
කෙලෙස් රැහැනින් මිදී
නිව්නා තැව්නා වූ
සිත් ඇත්තන් වී.
ඔවුන්ගේ වාසයට
රජුන් පුද ඒ බිම
එකල විය
අරිට්ඨ පබ්බත
මෙකල
රිටිගල.
එය වීය ඉතිහාසය.
සැබවින්ම නගරයකි
සෙල්මුවා නගරයකි.
වනය තුල සැගවුණු
සියල්ලෙන් පෝෂිතව.
ඔසු ඇඹරුම් හල්
හා
ඔසු ගල්වන ඔරු
වේ අදත් ජීවමානව
ගෙනහැර පාමින් සාක්ෂි
පැවතිය බවට මෙහි
වෙදහලක් - රෝහලක්
මහ සඟරුවනට
යම් විටෙක
ජනී ජනයාද
සුවපත් කළ.
එහි ප්‍රයෝජන පිණිස
අප සිහළුන් සිටවූ ඔසු
හනුමා ගෙනවුත් දැම්මේය යන්න
නොවේද මහ මුසාවක්
මහ විහිළුවක්.
සිව් මහා ඵලයන්
මුර්ති කරනා
පියගැට පෙළම මනරම්
ප්‍රමාණවත් වේ
සිහල ගල්වඩුවාණෙනි
සිහල කලාකරුවාණෙනි
ඔබ පුද පෑ ආගමට
සම්මා සම්බුදු වදනට වූ
ඔබ මහත් ආදරය
ඔබ මහත් භක්තිය
පෙන්වා දීමට.
කෙලෙස
ඔසවා තබන්න ඇද්දැයි පවා
සිතාගත නොහැකි
මහා ගල්කණු
සෙල්මුවා ඒ දඩු පාලම්
ඔබ දෑතේ වීරියෙන්
හා
ඔබ ඥාණයෙන්
ඔබ තැබූ ඒ ඒ තැන්හි
අදද
නොසෙලී
අභීතව
කාහල නාද
නඟන්නේ වේ.
ඒ සා විශාල
මහ ගල් පර්වත
ඔබ කුළු ගෙඩියෙන්
දෙපළු වූ තැන්
අදද එළසින්ම
ජීවමානව ඇත්තේ
නොයෙක් අත
නොයෙක් දෙස
විසිරී පැතිරී.
ඒ කැපුම් නෙක
අතගා බැලුවෙමි
ආදරය
සතුට
ගර්වය
ශෝකය
මුසු හැගුමින්.
වැටෙන වැසි දිය
නොතබා උරාගන්නට
සරු පොළොවට
රැගෙනවිත් නල දිගේ
සෙල්මුවා නල දිගේ
පිහිටි උස් බිම් පොකුණට
බෙදාදී ඇති අයුරු
ඒ දිය
ඒ ඒ නිසි තැනට
පුදුමයි
අදහන්නට ඔබ
ශිල්ප ඥාණය
මියයන ජාතියක් වන
මෙකල වෙසෙනා අපට
පැවතෙනා ඔබගෙන්ම.
6.06.2014
අරිට්ඨ පබ්බත
share: facebook | twitter | pinterest
Labels:
Poems\කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment