'ස්වාමිනි,
මා නමින්
පුක්කුසාති වෙමි.
හැඳින්නෙමි
ස්වාමිනි,
මා ඔබ
හැඳින්නෙමි.
දෑසේ
තිමිරපට ඉරා දමා
විදු ඇස පාදා
මඟ හෙළිකළ
ස්වාමිනි,
බව කතරේ මංමුලාව
යන එන අතරේ
මේ බවයේ හමුවුනේ
ඔබ
මට.
ශක්‍ය රජ පුත්
ගෝතම සිදුහත්
ගිහිගෙය හැරදා
තවුස් දහමේ ඇලුණේ,
කෙලෙසුන් පරදා
සම්බුදු වූවයි
නොයෙක් දනන්ගේ
මුවඟ රදන්නේ,
සා පහසින්මත්
මුව පොව්වකු
දිය බිදුවක්
ඉව කරන්නා වාගේ,
සාවත්තියේ ඔබ
වැඩ හිදිනා බව දැන,
ඔබ රූ
මේ යැයි
ඔබ හඬ
මේ යැයි
සිත් හී රඳවා,
ගිණිගෙය හැරදා
පා ගෙවෙනා තෙක්
සිය දහසක් ගව්
සොයමින් ඔබ
ඇවිද්දෙමි.
අද දිනයේ
මේ
කුබල් හලේ,
නිහඩ
නිසංසල රාත්‍රියේ,
දුටු සැනෙකින්
ඔබ
මිත්‍ර නාමයෙන්
ඇමතූවේ,
කමාවනු,
ස්වාමිනි
මට.
මා
ඔබ හැඳින්නෙමි.
ඔබ රූ
දුටුවෙමි.
ඔබ හඬ
ඇසුවෙමි.
සියල්ල පැහැදිලිය,
ස්වාමිනි.
සක්සුදක් සේ
දුටුවෙමි
ඇත්ත
මේ යැයි
ඇති සැටියෙන්
දුටුවෙමි.
ස්වාමිනි,
මා පැවදි කරනුමැන.
ස්වාමිනි,
මා වඳිමි.
ඔබ ශ්‍රී පාද
වඳිමි.
මා
පැවිද්දේ පිහිටුවනු මැනවි,
නිදුකාණනි.
මා වඳිමි.
මා
ඔබ වඳිමි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment