6.23.2014

හිනැහෙන්න පුන්සඳේ

බොරළු කැට

තණ පඳුරු

මල් පියළි

මල් රේණු

හැම එකක් පෙනෙන සේ

දිවා කල මෙන් ම රෑ

පරිසරය සතපවා

සිසිලසින්,

ගත පුරා

සිත පුරා

සැනසිල්ල උතුරුවා,

වෙල් එළියෙ

බඩවැටියෙ

දිය කඳුරු මත වැදී

මඳ පවන් හමද්දී,

නොපෙනුනත් කොහේදැයි

බකුසු හඬ ඇසෙද්දී,

පායලා

පොසොන් සඳ.

රොද බැඳුණු

සුදෝ සුදු වළාකුළු

පුළුන් කැටි තුළට වී

හිනැහෙන්න පුන්සඳේ,

සැඟ නොවී මඳක් හෝ වෙලාවක්

වළාකුළු තුළ වැදී

හිනැහෙන්න පුන්සඳේ.

නිල් අහස පුරාවට

තරු දරුවො

රඟද්දී ඔබ වටේ,

ඔබ කැළුම්

තව තවත්

දෙරණ මත විහිදුවා

රාත්‍රිය පුරාවට

හිනැහෙන්න පුන්සඳේ.

සඳවතිය

The moon looked through the boughs to me,
All new, and curved as though she smiled:
And turned my treasures, like a child.
So who can say she brought no luck to me ?         

                                   -  John Still, JUNGLE TIDE

වන තුරුපත් අතරින්
එබී බලා සිටියා
සඳවතිය
මා දෙස,
මඳහස දල්වා
ගුලි ගැහි ගැහී
තව තවත්
බලා සිටියා

පොඩි එකෙකු වගේ.
හිස හරවා බැලුවෙමි
පාමින් අතරැදි
මාහැඟි වස්තුව
ඈ වෙත.
වාසනාව මා වෙත
ඈ නොගෙනාවයි කියා
කාහටනම් කිව හැකිද?

බව කෙළවර

ලෝභ දෝශ මෝහ
මද මාන
සූදුව සොරකම
ලෙඩදුක් පීඩා
ව්‍යාධි
අවසන මරණය
චුතිය
ග්‍රහණය
ප්‍රතිසංධිය
ඉපදීම
සුවඳ මුසු වා තලය
සියොත් කැල ගයන ගී
මලින් පිරි පොකුණු දිය
හරිත තුරු
වන උයන
සවනෙ රැඳී
මියුරු නද
වට තිර
උඩ තිර
මවක්
කෙඳිරියක්
හැඬුමක්
බිලිඳෙක් ජයසක්
කාහල

හඬ වැකුණු නඳී තෙර
වැලිතලා සුදෝසුදු
සඳ එළිය සඳ සිසිල
මඳ පවනේ ඔදවැඩුණු ළපළු පත්
මිනිසෙක්,
තනි මිනිසෙක්
රජ බොජුන්
මදුවිත
දැසිදසුන්
මාළිගා
කසී සළු
කුලකතුන්
නළගනන්
සැනකෙළි
ජයකෙළි
මවක් වන් බිරිඳක්
ළඳබොළඳ
දිරිමත් ළඳක්
විඳි පහස
සෙනෙහස
පුත්‍රයෙක්

දෙවියෙක් නොවනා
බඹයෙක් නොවනා
මිනිසෙක් නොවනා මිනිසෙක්
සංසාර ගෘහයේ
නොයෙක් අත විසිරුණු
නටබුන්
ලී පතුරු
සැනසුමින් පිරි
අධිඨනින් පිරි වතකමල
පියවර පෙළ
ඉදිරියටම වන
පියවර පෙළ

රජුන් සිටුවරුන්
වෙළදුන් ගොවියන්
කුබළුන් සැඩොලුන්
පිරිමින් ගැහැණුන් ළමයින්
කුළීන කුළහීන
මිනිස්කැල
මිනිස් ගඟ
මනස් රෝගීන්
'කිං චාරිකං භික්ඛවේ, බහුජන සුකාය බහුජන හිතාය'
පඬු සිවුරු
පාත්‍රා
ආරාම කුබල්හල්
ගවමඩු සොහොන්පිටි
නිවුණු තැවුනු උසස් මනස්
නින්දා ප්‍රශංසා
ලාභ අලාභ
මහමෙරවන් කුළුණු ගුණ
'වක්කලී, මා කෙරෙන් ඉවත්වව්
මේ කුණු ශරීරය දෙස බලා ඉදීමෙන් ඵලය කීම,
වක්කලී,
මා කෙරෙන් ඉවත්වව්,
වක්කලී'
'සෝ ධම්මං පස්සථි, සෝමන් පස්සථි'

නොයෙක් අත
නොයෙක් දෙස තැබූ
ගෙවීගිය පා පතුල්
'ආනන්ද, පිපාසයි,
පැන් පොදක්, ආනන්ද'
මියඇදෙන හිරු කිරණ
වැළපෙන තුරු හිස්
සල් ගොමු
සඳුන් දර
ගිණිදැල්
අඳුර
'වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත'

6.22.2014

සූදානම

පොල්අතු වහලින්
පිණි බේරෙද්දී
අමාවකේ
අඳුර මැදින්
වෙව්ලන දෑතින්
කවදාදැයි කියන්න බැරි
එත්
නොවරදවාම
නුදුරු දිනෙක එන,
අමුත්තා
හා යන්න
කහ පාට සුදු රෙද්දෙන්
හැට්ටයක් මහනවා
ඇය,
මැටි බිත්තියට ඇන තියාගෙන
කුප්පි ලාම්පුවේ
පණ
තියෙන තුරා.

සමිඳුනි

හුණු
මැටි
ගඩොළින් නිම කළ
ඔබ රූ
දුටු විට
ඇග
ඇට
මස්
ලේ
නිවෙනා
තැවෙනා
අරුමය
එදත්
අදත්
අරුමයක්මැයි.

පව් සේදීම

'බ්‍රාහ්මණය,
බාලයා,
බාහුකා හා අධිකක්කා
ගයා
සුන්දරිකා
සරස්වතී
පයාග හා බාහුමතී
ගංගාවෝ වෙත ගොස්
දිනපතා ගිලෙනමුත්
කෙදිනක හෝ
පවිත්‍රවීමක් නැත.
සුන්දරිකා
පයාග හෝ බාහුමතීයට
කලහැක්කේ කවරක් ද?
ඒවායින්,
වෛරය හා පාපය වරද කොටගත්
මනුෂ්‍යයා 
පවිත්‍ර  නොකරන්නේමය.
පවිත්‍ර මනසින් යුත් අයට
කවර දිනකදු
සුභවන්නේ
පවිත්‍ර වන්නේ,
පිරිසිදු ක්‍රියාවෙන් ශුද්ධ අය,
සෑම කල්හිම
පිළිවෙත් පුරණු ලබත්.
එබැවින් බ්‍රාහ්මණය,
මෙහිවිත් දිය නහනු.
ජීවත් වන්නාවූ අයට
මෛත්‍රිය කරනු.
ඔබ මුසා නොදොඩවන්නේ,
වැනසීම
හා
අදත්තාදනය නොකරන්නේ,
තෘෂ්ණා සිත්පිරි
මසුරකු නොවන්නේ නම්
ගයාවට යාමෙන් ඵලය කීම?
ඔබ නිවසේ වන ළිදම
ගයාව වන්නේ වේ'.

(සුන්දරික පරිබ්‍රාජකයාට බුදුරජාණන්වහන්සේ, මජ්ජිම නිකාය)


සිතුවිල්ල.

දියෙන් සෝදා
හැරිය හැකිනම්
සියලු පව්,
සියලු මසුන්
දියෙහි වෙසෙනා
මනුෂ්‍යයෝ අභිබවා යන
මහා පින් ඇත්තෝ
නොවන්නේ ද?

6.21.2014

අම්මා

වෙනදාටත් වඩා
දැනෙනවා
මට අද
නුඹ විඳි
අනේක
දුක්ඛ
දෝමනස්සයෝ,
ලොකු කරන්න
මා
අතපය
මගෙ
අම්මේ.
අඬනා පුතු
නලවන්න
රෑ මැදියමේ
නිදි වරනවා
මම.

ජාගර සිත

කන්‍යාවක
පහස ලබන්නට
ජාගර සිත
හිමිදිරියෙම ගොඩවුවා
අසපුවකට.
ඇට මස් ලේ නහර
කිසිත් නැති
නාඩි වැටෙන මළමිනිය
සුවඳ ඇග උලාගෙන
සැදී පැහැදී
සයනය මත බාවලා
අපුරුවට.
සියළු
වතාවත් සමගින්
පටන්ගත්තා
වන්දනාව.
සඳ නැඟෙද්දී
අහස් කුසේ
නිකැළැල් සිත
පිටුවුවා,
ජාගර සිත් හැව
උනාදමා
සයනය
පා මුල.

6.20.2014

කුරුල්ලෙකුවෙලා

මිහිදුම් සළු ඉරාදමා
නීලවර්ණ
කුළුදුල් දියකඩිති උඩින්
මහ රත්මල් තුරුමත්තේ
ලැග ඉදිමින්
නිමේශයක්
මහඑළි තැන්නට
ඉහළින්
පියාඹන්න ඇත්නම්,
අනේක රස
විසිතුරු ඵල
තුඩ'ගින් ගෙන
මුවෙහි හෙලා
කුස සනසා
සිතු ලෙසේ
වගක් නැතිව
කොතරම් සීතල දැනුනත්
ඉවසන්නට බැරි තරමට
ඇඟ පිහාටු පුම්බාගෙන
අතු පතරේ
දුවන්න ඇත්නම්,
කිරි බැබළෙන
සඳ වතුරේ
නැහැවි නැහැවි
මිණි කැටවන් ඇස් දල්වා
පිණි නැහැවුණු නව තණපත්
මුවෙහි හෙලා
පෙම් කෙලිනා
ගෝනුන් කැල
ඉන්න ඉසව්වට ඔබ්බෙන්
තුරු වදුලේ සැඟවීලා
බලාන ඉන්නට ඇත්නම්,
අන් සැනසිල්ලක්
කුමටද
කරදර පොදිබැදි
මේ ජීවිතයේ.

නාම ගොච්චං නජීරති

දෙනෝ දහක් දෙන
සිය දහසක් කල්
දොහොත් මුදුන් දී
ඔබ වැන්ඳා.
දෙනෝ දහක් දෙන
සිය දහසක් කල්
ගඳින් මලින්
ඔබ පිදුවා.
මහ වනයේ
වන අරණේ
ගහ
කොළ
වැල්
මුල්
ඔබ සෙවනට හිටියා.
වන සිවුපාවෝ
ඔබ රැකගත්තා.
ඇඟ
ලේ
ඇට
මස්
නිමක් නොවන සේ
මහ දිගු සසරේ
දන් දුන් නිසාද
අකම්පිතව ඉන්නේ, හිමියනි?
ගල්කටු පහරින්
සිරස බිදිද්දී
ඔබ ළය හාරා
පතුල බලද්දී
අකම්පිතව ඉන්නේ, හිමියනි?
රූ කය ඔබගේ
අහක්කලත්
මෙලොවට,
දෙපා තිරිසනා
දන්නෙ නැතිව ඇති
'නාම ගොච්චං නජීරති'.

ආදරය

'ඔබ මැරුණොත්
මමත් මැරෙනවා'
මම කිව්වා.
- ඔබ හිනාවුණා.

'ඔබ මැරුණත්
මම ජීවත් වෙනවා'
මම කිව්වා.
- ඔබ ඇඬුවා.


6.19.2014

සීතල ප්‍රේමය

රේල් පාර ළඟ
හෝ හෝව අහගෙන
රත් කරගෙන
උඩිනුත් යටිනුත්
වැටකේ මල්
සුවද විඳ විඳ
බවුන් වඩනවා,
සීතල ප්‍රේමය.

ක්ෂීර පථය

කිරිපැහැ පෙණ පිඬු
විසිරෙන වෙරළේ
සඳ නැති
සීතල රාත්‍රියේ,
දසත හමද්දී
නුපුරුදු සුවඳක්,
ක්ෂීර පථය දුටුවා.
ඈත විශ්වයේ
තරුවෙන් තරුවට,
දිලිසෙන
මියයන
තරුවෙන් තරුවට,
පියවර මැන්නා.
ක්ෂීර පථය දුටුවා,
සඳ නැති
සීතල රාත්‍රියේ
ක්ෂීර පථය දුටුවා.

ආදර කතාව

කන්දක් තරමට
විඳවලා
විඳවලා
වැදුවා
මී
පැටියෙක්,
පුංචිම
පුංචි
මී
පැටියෙක්,
නිල්ම
නිල් පාට
පුංචිම
පුංචි
මී
පැටියෙක්.

උස්සන්ගොඩ

පෙණපිඬු විසුරුවා
වෙරළ ඉම
හැපෙනා
උස් රළ ගෙඩි
දෙරණතල පුරාවට
හෝ හෝව නඟද්දී,
තනි තරු
තරු වැල්
තරු පොකුරු
පායලා
ඉමක් කොනක් නැති
උස්සන්ගොඩ
විසල් අහස පුරාවට.
බිඳෙන ඒ
රළ මිසක්
වෙන කිසිත්
හඬ නොමැත,
දිවා රෑ දෙසවනට
වද දෙනා
වියරු හඬ නගරයේ
කිසිත් නැත
ලඟපාත.
සීත මඳනල මුසුව
කොහේදෝ සිට
නොතේරෙන සුවදක්
කවරක්ද කිව නොහැකි
නොතේරෙන සුවදක්,
හමායයි
දිගන්තේ.
මුලක් නැති
මැදක් නැති
අගක් නැති විශ්වයේ
නිසල සිත
පාවයයි,
මතක්කර
විමුක්තිය ලැබූවන්
විඳින ඒ
අමාසුව.

අත්දුටු සත්‍යය

ඒකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ 
විතිණ්ණ පරලෝකස්ස – නත්ථි පාපං අකාරියං 

සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මය ද ඉක්මවා ගොස් මුසාව තෙපලනු සුළු වූ පරලොව ගැන බලාපොරොත්තු නැති තැනැත්තා විසින් නොකළ හැකි පවක් නැත්තේය ෴ 

- ධම්ම පදයේ ලෝකවග්ගය, ජේතවනාරාමයේදී චිංචිමාණවිකාව අරභයා වදාරණ ලද ගාථාවකි

6.18.2014

අන්තෝ ජටා බහි ජටා

කෑලි කෑලිවලට ඉරපු
පත්තර කොළගොඩ උඩ
රතුම රතු පාට
මී පැටව් හත් දෙනෙක්,
හරියටම හත් දෙනෙක්
ගෑස් ලිප අස්සේ.

වැහැපන් වැහි

අහස ගොරවලා
හෝ හෝ ගාලා
එළියෙ මහ වැස්ස.
ගස්
ගල්
උදුරා දාන්න වාගේ.
කොහේදෝ ඉඳලා
මහ සුළං ඇවිල්ලා
ගසාගෙන යනවා
වේගයෙන්
වෙල දිහාවට.
කන්ද හෝදාගෙන
පහළට එන වතුර පාර
නොයෙක් රටා මවමින්
වෙලට එකතුවෙන්නෙ
පොළොවෙ සාරයද සමඟින්.
හදීසියෙම අහස කළු වුන නිසාදෝ
වෙල දිහාවෙ
තොර තෝංචියක් නැතිව
කෑ ගහන කුරුල්ලෝ.
කොස් ගහේ
අත්ත බදාගෙන
ලවක් දෙවක් නැතිව
කෑ ගහන
ලේනෙක්,
ඉන්න හිටින්න
තැනක් නැතුවා වාගේ.
නැත්නම්
උගේ පැටව් ලගට යන්න
පාර හොයාගන්න
බැරිවෙලා වෙන්න ඇති.
ඔළුවෙ ඉඳලා
මුළු ඇගම වහගෙන
පොරෝණය අස්සේ ගුලිවෙලා
තව ඉන්න ඇත්නම්,
ඔළුව වෙහෙසවන
සියළු ප්‍රශ්ණ අමතක කරලා.
ගේ ඇතුලට ආව
සුළගේ හෝ හෝව
අහන් ඉන්න තව ආසයි
සීතල විඳ විඳ.
වැහැපන් වැස්ස
තව වැහැපන්,
කාණු ඉතිරිලා
වෙල පිරිලා යනකල්
වැහැපන්.
ඇසීයන් හෝ හෝව
ගුලි වෙන්න
පොරෝණයේ
උණුසුමට
තව තවත්.

සිංහල බෞද්ධයන් ජාතිවාදීන් ද? ආගම්වාදීන් ද? (Sinhala Buddhists living in Sri Lanka are racists and religious extremists?)

 
(හෙළ උරුමය ප්‍රංශ ශාඛාව සංවිධානය කළ යුද්ධයෙන් පස් වසකට පසු විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ කාර්යභාරය කුමක්ද යන මැයෙන් ගරු තාක්ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා විසින් පැරීසියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව මන්දිර ශාලාවේ දී පවත් වු දේශනය 11-05-2014)(Mr. Patali Champika Ranawaka, Hon. Minister for Technology, Research and Atomic Energy, discloses the true humanity of Sri Lankan Sinhala Buddhists over all other nationalities and religious faiths)


වසර දස දහස් ගණනක උදාර ඉතිහාසයක් ඇති තම ජාතිය, තමට හිමි සංස්කෘතිය හා අන් සියලු ආගම් හෙලා නොදකිනා අවිහිංසාවාදී බුදුදහම වෙත එල්ලවී ඇති බලපෑම් සම්බන්දයෙන් සිංහල බෞද්ධයා තමුන්ගේ රටතුල දී ම කතා කළ විට පමණක් එය ජාතිවාදී හා ආගම්වාදී වන්නේ කෙසේද?


සිංහල නොවනා නොයෙක් ජාතිකයන් හා බෞද්ධ නොවනා බොහෝ ආගම් අතීතයේ සිරි ලංකාවට ගොඩබසිකොට 'ඒ අයද අපි වගේම මිනිසුන් කියලා හිතලා සාදරයෙන් පිළිගත් සිංහල කියන වටිනා ජාතියක් හා අනෙක් අයගේ ආගම් ද ඉවසා සිටි බුදුදහම නම් අහිංසාවාදී දහමක්' මේ රටේ නොතිබුනා නම්, අද සිංහල බෞද්ධයා විඳිනා කරදර කිසිවක් විඳින්නට ඔවුන්ට සිදු වන්නේ නැත. තමන් උපන් රටේම තම රට ගැන, සංස්කෘතිය ගැන, දහම ගැන කතා කිරීම නිසා ආගාම්වාදීයෝ හා ජාතිවාදියෝ කියා මුල අමතක කරපු වෙනත් ජාතිකයන්ගෙන් හා ආගම් වලින් අසන්නට ද ඔවුන්ට සිදු වන්නේ නැත.


If not for the presence of a great nationality called Sinhalese in Siri Lanka who welcomed all foreign nations to their motherland & treated them as human beings and a doctrine called Buddhism based on loving kindness which honored other religions with high respects, Sinhala Buddhists living today will not have to suffer as they experience today. And they will not be labeled as racists and religious extremists for raising their voice for their motherland, culture & Buddhism by the other nationalities and religions who are not bothered to think about their history.

6.17.2014

විජයාවතරණය

හිස බූගාලා
හංවඩු ගහලා
උපන් රටින් පන්නාපු විජේ

යන්නේ කොහෙදැයි
හසරක් නොමදැන
මහ සයුරට
ඇද දාපු විජේ
යන්නන්වාලේ
පාවී ඇවිදින්
තඹ වැල්ලට පය ගහපු විජේ

කන්නට බොන්නට
ඉන්නට දීලා
පණ ගහලා අරගත්තු විජේ

පර ගති පාලා
බත් දුන් අත කෑ
මනුෂ්‍ය යුතුකම නොදත් විජේ

මොන කරුමෙට
අප ජාතිය ඔබගෙන්
පැවතෙනවා කියනවද විජේ

සුදු හුණු නුඹ ඇඟ
ගාලා ඔය හැටි
ඔය තැන නුඹ ඉන්දාපු හැටී
මේ සියවසෙ තව කියා එලක් නැත
නැත තව මායිම් කරනු අපී

නුඹ මේ රට පය ගහන්න ඉස්සර
අහස් නැවෙන් ගිය
උදාර මිනිසුන් මෙහි හිටියා
ඔවුනගේ නෑසිය ඉපයූ බත කා
ඒ යකුනැයි සරදම් කෙරුවා

එනමුත් අද මේ ජාතිය යන හැටි
දකිද්දී නුඹ ආ නැව වාගේ
ඇත්තට නුඹගෙන්
එනවුන්දැයි අප
සැකයක් හදපතුලින්ම නැඟේ


පුක්කුසාති

'ස්වාමිනි,
මා නමින්
පුක්කුසාති වෙමි.
හැඳින්නෙමි
ස්වාමිනි,
මා ඔබ
හැඳින්නෙමි.
දෑසේ
තිමිරපට ඉරා දමා
විදු ඇස පාදා
මඟ හෙළිකළ
ස්වාමිනි,
බව කතරේ මංමුලාව
යන එන අතරේ
මේ බවයේ හමුවුනේ
ඔබ
මට.
ශක්‍ය රජ පුත්
ගෝතම සිදුහත්
ගිහිගෙය හැරදා
තවුස් දහමේ ඇලුණේ,
කෙලෙසුන් පරදා
සම්බුදු වූවයි
නොයෙක් දනන්ගේ
මුවඟ රදන්නේ,
සා පහසින්මත්
මුව පොව්වකු
දිය බිදුවක්
ඉව කරන්නා වාගේ,
සාවත්තියේ ඔබ
වැඩ හිදිනා බව දැන,
ඔබ රූ
මේ යැයි
ඔබ හඬ
මේ යැයි
සිත් හී රඳවා,
ගිණිගෙය හැරදා
පා ගෙවෙනා තෙක්
සිය දහසක් ගව්
සොයමින් ඔබ
ඇවිද්දෙමි.
අද දිනයේ
මේ
කුබල් හලේ,
නිහඩ
නිසංසල රාත්‍රියේ,
දුටු සැනෙකින්
ඔබ
මිත්‍ර නාමයෙන්
ඇමතූවේ,
කමාවනු,
ස්වාමිනි
මට.
මා
ඔබ හැඳින්නෙමි.
ඔබ රූ
දුටුවෙමි.
ඔබ හඬ
ඇසුවෙමි.
සියල්ල පැහැදිලිය,
ස්වාමිනි.
සක්සුදක් සේ
දුටුවෙමි
ඇත්ත
මේ යැයි
ඇති සැටියෙන්
දුටුවෙමි.
ස්වාමිනි,
මා පැවදි කරනුමැන.
ස්වාමිනි,
මා වඳිමි.
ඔබ ශ්‍රී පාද
වඳිමි.
මා
පැවිද්දේ පිහිටුවනු මැනවි,
නිදුකාණනි.
මා වඳිමි.
මා
ඔබ වඳිමි.

නොදුටු සේකර

නෑයෙක්ද නොවේ ඔබ
මිතුරෙක්ද නොවේ ඔබ
ඔබ රූ මේ යැයි
ඔබ හඬ මේ යැයි
සැබෑවට
දැක නැත.
අසා නැත.
එනමුත්
ඔබ පතින්
ඔබ පොතින්
දකිමි ඔබ,
දුටිමි ඔබ.
නිදහසේ ගලායන
සුනිල් දිය කඳක් සේ
සිහල බස
නිදහස් කවක් තුළ
ගී පද වැලක් තුළ
හසුරුවා ඇති අයුරු,
හැගුම් පෙළ කලතවා
දැනුම් දිය වගුරුවා
හසුරුවා ඇති අයුරු
මොනතරම්
සුන්දරද?
උනා නීල වර්ණ වරල
අලක අඳුන් ඇඳි
කෝලවෙමින් විමානයෙන් බැසයන
ස්වර්ණමාලි යලි දකින්න,
ඇසේ මතුවෙන කදුළු බිඳුගෙන
අවුකන බුදු සිරිපා දොවන්න,
පෙණ කැටියක පාකර
මුදු පතුල යට ඉඳ
මුතු ගෙනෙන්න,
ඈත කඳුකර හිමව් අරණේ සිට
හමනා සුළං රැල්ලක
ඔබේ නම රඳවන්න,
'දෙතොලින් දෙතොලට
උණුසුම් පණ සිඹ
මේ පොළොවේ යලි
මා බිහිකළ මැණ'
ඔබ පැතුවා සේ
මගේ දේශය අවදි කරන්නට,
ආදී සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ
උදාර වු මාතෘ භූමියට,
යලිත්
එනුමැණ
පරිසරවේදියාණනි
සිහල පුත්‍රයාණනි
දේශමාමකයාණනි
සේකරයාණනි.

6.16.2014

මිනිස්සු

සියළු කෙලෙසුන් නැසූ
තවුසෙක් නැත
තවුසියක්ද නැත.
ඇත්තේ,
ඇට
ලේ
මස් ඇති
මිනිස් ගති
නොඉම්ම වූ
මිනිසෙක්
හා
ගැහැණියක්
එපමණකි.
සොවින්බර
නොවුනේද නැත.
මිහිරිබව
නැසුනේද නැත.
සීමා වැට බාදා
අනේක පිරි
සුළු මොහොතක් පමණි
ගෙවාදැමු
ඒ දවස.
අතීතයේ
පෙර දවස.

සඳකි නුඹ

සඳකි නුඹ මට.

නුඹ වත
සඳක් වන
නිසාවෙන් නම් නොවේ.
කොපමණ ඈතින් සිටියත්
ලබාගනු තබා
මුදු පහස
ලබන්නට හෝ
නොලැබෙනා බව
සක්සුදක් සේ දන්නාමුත්
නුඹ සුවය
නුඹ පහස
මේ කල්පය පුරාවට
නිරතුරුවම
සිතන
පතන
නිසාවෙනි.

6.15.2014

සඳේ සොමි ගුණ

පුළුන්වලා පොදක් නැති
විසල් අහස පුරාවට
සොමිකැන් උතුරුවා
පායලා
පෝය සඳ.
ඉල්ලා ඇඬුවලු
පුංචි කාලේ.
පුදුම වෙන්න දෙයක් නෑ
අද හිතෙන්නෙත්
ඒ ටිකමයි.
ගලනා කාලය
අමතක කරලා
ඇස දල්වා බලන් ඉන්න හිතෙනා
මොන තරම් සුන්දර වස්තුවක්ද?
ගං ඉවුර ඉස්මත්තේ
හේන් වැදුන වල් අලි
අතු බිඳිනවා
ඇහෙන්නේ නැතත්,
බන්ඩි ගොයම පිස හමනා සුළං
ගත සිප ගත්තේ නැතත්,
හොරෙන් හොරෙන් අවට බල බලා
ගැබ්බර කැස්බෑවුන් බඩගාන
පෙන ඉතිරෙන වෙරළ ඉමක්
අහලක පහලක නැතත්,
කොන්ක්‍රීට් වනාන්තරේ
පියස මත්තෙන්
ඔබ මවනා චමත්කාරය
මොන තරම් සුන්දරද?

6.13.2014

කරුණු නොවිමසා පොසොන් පොහෝ දින මිහිඳු හිමි වැනීම හෙවත් හෙළයාගේ කොන්ද කැඩීම හෙවත් අදටත් ඉන්දියාවට කඩේ යාම



මිහිඳු මහරහතුන්වහන්සේගේ ලංකාගමනය හෙළ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස, 'වනචාරී හෙළයා ශිෂ්ටාචාර කිරීම' ලෙස බොහෝ ලේඛකයන්, යතිවරුන් ලියති. දෙසති. ලියන්නේ ය. දෙසන්නේ ය. අධ්‍යනයකින් තොරව කෙරෙනා මෙවැනි ලියුම් කියුම් වලින් කෙරෙනුයේ සැබෑ හෙළ ඉතිහාසය තව තවත් 'ඉතිහාසයට ම' ඇද දැමීම මිස වෙන අන් දෙයක් නොවේ. ඊට‍ත් වඩා අනාගත සිංහලයාගේ කොන්ද කඩා දැමීම මිස වෙන අන් දෙයක් මෙයින් සිදු නොවේ. ඉන්දියාවට කඩේ යෑම මිස වෙන අන් දෙයක් මෙයින් සිදු නොවේ. මෙවැනි ලිපි අතරට වැටෙනා තවත් 'සාරගර්භ' ලිපියකි, මාලබේ සුසීලාරාම විහාරාධිකාරී කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය බෝදාගම සීලවිමල හිමි විසින් 'ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය' යන නමින් 'දිවයින Online EDITION' වෙබ් අඩවියේ එල කරන ලද ලිපිය. ආචාර්යන් වහන්සේ විසින් හෙළිකරනා කරුණු කාරණා සම්බන්දයෙන් වන මාගේ අදහස මෙහි සඳහන් කරන්නට සිතුවෙමි.

උන්වහන්සේ විසින් සම්පාධිත ලිපිය පළමුවත්, මාගේ අදහස දෙවනුවත් ඉදිරිපත් කර ඇත.

'ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය

ක්‍රි.පූ. 6 වැනි සියවසේ 623 සිට 543 දක්‌වා ලොව විසූ ශ්‍රේෂ්ඨතම ශාස්‌තෲන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ තමන්ගේ ස්‌වයංභූ වූ ඤාණයෙන් සිව්සස්‌ අවබෝධයෙන් සකල විධ වූ සත්ත්වයන් සංසාරය නමැති ඝෝර වූ භව ගමනින් නිරුද්ධ කළ සේක. උන්වහන්සේගේ ධර්මය මෙලොව ජීවිතය සැපවත්ව නිරෝගිමත්ව, දීර්ඝායුෂව සැනසිලිදායක ලෙස ජීවත් වන්නට මහත් වූ රුකුලක්‌ විය. මිනිස්‌ සංහතියට පමණක්‌ නොව අපා දෙපා සිව්පා, බහුපා, ක්‍ෂුද්‍ර ජීවීන්ට හා සමස්‌ත පරිසර පද්ධතියටම යහපත පිණිසම පැවතුණි. මේ උසස්‌ දර්ශනය දඹදිව මධ්‍ය දේශයට පමණක්‌ සීමිත වූ දර්ශනයක්‌ නොවීය.
තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක්‌ ලැබුණේය. ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ උරුම කරගත් පිරිසක්‌ ලෙස ථෙරවාදී බුද්ධ ධර්මය සුරක්‍ෂිත රටක්‌ ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත්තේ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට වැඩම කළ නිසාමය. මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්‌, අභිචාර විධි, අක්‍ෂර මාලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌ නොවීය. දෙවන පෑතිස්‌ රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලක්‌ දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස සතුන් දඩයමේ ගිය අවස්‌ථාවේදී රජු පිරිසෙන් වෙන් කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥගෝචරම ක්‍රියාවකි. උන්වහන්සේ තමන් වහන්සේ හා පිරිස කවුදැයි යන්න හඳුන්වා දුන්නේ ගාථා දේශනාවක්‌ කරමිනි. තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දීම තුළින් රජුගේ බිය පහව ගියේය. තමාගේ අදෘෂ්ට භාරතීය මිත්‍රයා වූ ධර්මාශෝක මහ රජුගේ එකම පුතණුවන් වූ මිහිඳු මහරහතන් වහන්සේ හා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් යුතුව තමා අතැති දුනු හී පසෙකලා උන්වහන්සේ තමන් සමඟ පිළිසඳරෙහි යෙදිණි. මෙහිදී මහින්ද මහ රහතන් වහන්සේ සමඟ පැමිණි ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් තෙරවරුද සුමන නම් රහත් සාමණේරයන් වහන්සේද භණ්‌ඩුක නම් අනාගාමී උපාසකතුමාද මහරජුට පිළිවෙළින් හඳුන්වා දුන්හ. මේ හඳුන්වා දීම උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයනුත්, බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර බවත් කදිමට පිළිබිඹු වන සාධකයන්ය, මෙහිදී සන්සුන් වූ රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා නොකොට තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්ම කාණ්‌ඩය අවබෝධ කර ගැනීමට තරම් මේ පුද්ගලයා ප්‍රඥගෝචර දැයි දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥති ප්‍රශ්නය විචාළෝය. මෙම ප්‍රශ්න විමසීම එක අතකින් රජු දහම් ඇසීම සඳහා පෙළඹවීමක්‌ කිරීමකි. මිහිඳු මහ රහත් චරිතයේ මෙම අවස්‌ථාව නියම ධර්ම දූතයකුගේ ලක්‍ෂණ හා දක්‍ෂ ගුරුවරයකුගේ ලක්‍ෂණ ප්‍රකට කරන අවස්‌ථාවකි.

මොහඳුරෙහි මුළාවී මුව කෙළියෙහි යෙදුණු මුටසිව රජුගේ පුත් දෙවන පෑතිස්‌ නිරිඳු දුනු හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන් අලෝකවත් වූ මාවතට පිවිසියේය.

බුදු දහම ලැබීමත් සමඟම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්‌ම සිදු විය. ආධ්‍යාත්මික වශයෙන් හා සදාචාරමය වශයෙන් සිංහලයන් තුළ ඇති වූ වෙනස බොහෝය. පන්සිල් රකිමින් තම ජීවිතය හැඩ ගසා ගත් ලාංකික ජනතාව විශේෂයෙන් අවිහිංසාව ගරු කරන්නන් බවට පත් වූහ. මින් පසු ක්‍රීඩාව සඳහාවත් ඔවුහු දඩ කෙළියෙහි නොගියහ. පසුකාලීන බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා බෙහෙත් කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය වී තිබූ අයුරුය. පරාර්ථය සැලකීමද බෞද්ධයන්ගේ විශේෂ ලක්‍ෂණයක්‌ විය. මේ නිසා පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක්‌ දැක්‌විණි. ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යයක්‌ද හෙළ ජනයාට ලැබුණේ බුදු දහම නිසාමය. අනුරාධපුරයේ මහා විහාරය, අභයගිරිය හා ඡේතවනාරාමය යන විහාරස්‌ථ ආශ්‍රිතව විශ්වවිද්‍යාල මට්‌ටමේ අධ්‍යාපන ආයතන බිහි විය. ශ්‍රී ලාංකිකයන්ට ජාතියක්‌ වශයෙන් දියුණු වීමට හැකි වූයේ බුදු දහමින් ඔවුන්ට ලැබුණු දායාද නිසාය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය දෙදහස්‌ පන්සිය වසරකට වැඩි කලක්‌ රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසිනි. එබැවින් බුදු දහම ශ්‍රී ලාංකික වන අපගේ උරුමයකි.

පැවිදි වීමට පුන පුනා බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක්‌ කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූයේය. මහා අරිට්‌ඨ කුමාරයාද මිහිඳු මා හිමියන් වෙතින් පැවිදි උපසම්පදා ලබා රහත් බව ලැබීය. දේශීය භික්‍ෂු පරම්පරාවේ නායකත්වය හිමි වනුයේ අරිට්‌ඨ මහරහතන් වහන්සේටය. සිංහල අපේ රටේ උපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌ පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් පෙනෙන්නේ බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැසගත් බවය. ඉන් පසු ලක්‌දිව පුරාම බුදු දහම ව්‍යාප්ත විය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්‌ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමඟම ශ්‍රී ලංකාවේද ගමයි - පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැකසිණි. ලක්‌වැසි ජනයාගේ ආගමික, අධ්‍යාපනික හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය වූයේ පන්සලයි. ගැමියාගේ පටන් රජකුමරු තෙක්‌ සියල්ලන්ම අධ්‍යාපනය ලැබුයේ පන්සලෙනි. ඒ සඳහා ඇප-කැප වන භික්‍ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම රජුගෙත්, රටවැසියාගේත් යුතුකමක්‌ ලෙස සැලකිණි. ධාර්මික දිවි පෙවෙතක්‌ වශයෙන් වැඩි දෙනෙක්‌ කෘෂිකර්මය තෝරා ගන්නා ලදී. අස්‌වනු පැසෙන තුරු විවේක කාලයක්‌ද නියම කර ගත්තේය, විවේකය ආගමික හා සංස්‌කෘතික කටයුතු සඳහා යොදා ගත්හ. වෙහෙර - විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ මේ නිසාය. කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව ලැබුවා වූ නිරාමිස ආස්‌වාදය අතිශයින්ම උත්කෘෂ්ටය. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වේ. මෙම උරුමයන් ආරක්‍ෂා කර ගැනීම තුළින් වර්තමානයට ලැබෙන්නේ දේශාභිමානී හැඟීම් විකසිත වන අරුත්බර චින්තනයකි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන්ද, චිත්‍ර නිර්මාණයන්ද ලක්‌වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන්ය. ඉතා දියුණු තාක්‍ෂණයක්‌ ඔස්‌සේ නිම වන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව නොරහසකි. විශේෂයෙන්ම චිත්‍ර කලාව පිළිබඳ කතා කරන විට සීගිරි බිතු සිතුවම් මගින් ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවේ. ඒ අනුව මේ සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන්ය. මේ අයුරින් සමාජ, සංස්‌කෘතික, ආගමික නවෝදයක්‌ ඇති කළ පොසොන් පොහොය ලක්‌වැසි ජනතාවගේ සදානුස්‌මරණීය උතුම් පූජනීය දිනයක්‌ බවට පත්ව ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක්‌ වූයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ටම පැවරීමයි. මෙරට මවුපිය දෙපළකගේ දරුවකු මේ රටේදීම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා මෙහිදීම විනය සංගීතියක්‌ පැවැත්වීමෙන් සසුන මුල් බැස ගන්නා බව උන්වහන්සේ වදාළේ දේශීයත්වයට ප්‍රමුඛස්‌ථානය දෙමිනි. එසේම සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන්වහන්සේලාට ඉගැන්වූහ. ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවාද පිළියෙල කළහ. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවකම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූහ. මහා විහාර සීමාව පිහිටුවා සංඝයාගේ සුරක්‍ෂිතභාවය තහවුරු කළහ. පසුකාලීනව වැඩිදියුණු වූ ලංකා බෞද්ධ කලා ශිල්පවලට පදනම වැටුණේද සම්බුද්ධ ශාසනය චිරස්‌ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්‌ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ. උන්වහන්සේ එදා මිහින්තලාවෙන් අරඹා දිවයිනේ දසත විහිද වූ ධර්මාලෝකය ශ්‍රී ලාංකිකයාගේ ජන ජීවිතයේ සෑම අංගයකටම කා වැදී ඇත. මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මෙරටට සිදු වුණු අපරිමිත සේවාව නිසාම උන්වහන්සේ "අනුබුදු" නමින් හැඳින්වීමට පුරුදුව ඇත.

වසර 28 ක්‌ පමණ මෙරට ශාසනය වෙනුවෙන්ම ඇප කැපවී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ උපතින් සැට වන වියෙහි පසු වෙද්දී දෙවන පෑතිස්‌ රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළහ. මිහින්තලා උදාගිරෙන් ලක්‌දිවට පෑයූ පොසොන් සඳ එසේ බැස ගියත් එයින් විහිදී ගිය ආලෝකය අද දක්‌වාත් පැතිරෙමින් පවතී.

මාලබේ සුසීලාරාම විහාරාධිකාරී, කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ ආචාර්ය බෝදාගම සීලවිමල හිමි'
                                                  -----------------------------------

පළමුවෙන්ම පැවසීමට ඇත්තේ, ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් බුදුන්වහන්සේ උපන් දේශය දඹදිව ලෙස හඳුන්වා ඇතත් ඉන්දියානු ඉතිහාසයේ කිසිම දවසක ඉන්දියානුවෝවත් තම රටට දඹදිව කියා නැත යන්න යි. ඔවුන් තම රට හඳුන්වා ඇත්තේ 'භාරත් දේශ' යනුවෙනි.

තෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රේෂ්ඨ ආගමක්‌ ලැබුණේ යැයි ලිපියේ සඳහන් කර ඇතත් මිහිඳු හිමි එන්නට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩම කළ බව අමතකකර ඇතුවා සේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා මෙරටට වැඩම කළ නිසා ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ උරුම කරගත් පිරිසක්‌, ථෙරවාදී බුද්ධ ධර්මය සුරක්‍ෂිත රටක්‌ ලෙස ලෝකයාගේ ගරුත්වය අපට ලැබී ඇත්තේය යනුවෙන් පැවසීම මුසා දෙසීමක් නොවේ ද? මිහිඳු හිමි එන්නට පෙර හෙළයේ තිබු සභ්‍යත්වය හා සංස්‌කෘතිය ශ්‍රේෂ්ඨ නැද් ද? හෙළයා අහසින් ගිය බව, කුවේණි රැජිණිය කපු කැටු බව, (හොර) විජයගේ 700 ක් වු පිරිසටත් කන්න බොන්න දුන් බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් අමතක කර ඇතුවා සේ ය. වසර දහස් ගණනකට පෙර හෙළයේ ජීවත් වූ මානවයා හා සම්බන්ද සාධක අද දවසේ ද හමුවේ. අතීත බුදුවරුන්ගේ කාලයේ ලංකාව නොයෙක් නාමයන්ගෙන් හඳුන්වා ඇති බව සාසන ඉතිහාසයේ ම දෙස් දේ. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ නිසා ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයක්‌, සංස්‌කෘතියක්‌ අපට ලැබුණ බව පැවසීමෙන් මෙවැනි සාධකවලට පයින් ගැසීමක් සිදුවී නොමැති ද ?

මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීමට පෙර විධිමත් වූ රාජ්‍යත්වයක්‌, අභිචාර විධි, අක්‍ෂර මාලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌ නොවීය යනුවෙන් සඳහන් කිරීම අනාගත සිංහලයාගේ කොන්ද බිඳ දැමීමක් නොවේ ද? ඉන්දියාවට ආවඩන ජාතියක් ඇති කිරීමක් නොවේ ද? මෙලෙස සොයා නොබලා මුසා කීම අද දවසේවත් නැවත්විය යුතු නොවේ ද? මිහිඳු හිමි එන්නට පෙර හෙළදීපයේ රජවරුන් නොසිටියේ ද? මහාවංසයේ නැති බොහෝ රජුන් සෙල් ලිපිවල ජීවත් වේ. එක් තැනක බුදුන්වහන්සේ හෙළයට වැඩම කළ බව පවසනා අතර තවත් තැනක ලංකාවේ පැවතියේ අභිචාර ක්‍රමයක් යැයි පවස යි. මිහිඳු හිමි එන්නට පෙර ලියවුනු සෙල්ලිපි ඕන තරම් මේ හෙළයේ හමු වේ. අක්‍ෂර මාලාවක්‌ හෙළයාට තිබුනේ නැත කියන්නේ කෙසේ ද? මෙයින් පෙන්නුම් කරන්නේ, අඩුතරමේ අශෝක හා තිස්ස රජුන් ලිපි හුවමාරු කරගත් බව මීට පෙර ලියා තිබෙනවාය යන කාරණාව වත් සැලකිල්ලට ගෙන නොමැති බව නොවේ ද? ඔවුන් ඒ ලිව්වේ මොන භාෂාවකින්ද? එය රූප අක්ෂර නම් විය නොහැක්කේ ම ය.

ගෘහ නිර්මාණ ශිල්පයක්‌ හෙළයට නොවු බව ද පවසයි. මේ නම් උමතුවෙන් කරනා කීමක් මිස අනෙකක් නොවේ. කිසිඳු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පයකට හෙළ ගෘහ නිර්මාණ ශිල්පය සමාන නැත. හෙළ චෛත්‍ය, සපුරා හෙළ නිර්මාණයකි. හෙළයට ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයක් වුයේ නම් සියලුම හෙළ ගොඩනැගිලි බුද්ධගයාව වැනි කෝවිල් විය යුතු ය. හෙළ නිර්මාණ තුළ ඉන්දියානු ලක්ෂණ නැත. මිහිඳු හිමි එන්නට පෙර තිබු හෙළ නිර්මාණ වල ආටෝප සාටෝප නෑ. ඒවායේ දේවවාදය ඉස්මතු කර නැත. හිරිවඩුන්න, රජගල, රිටිගල වැනි ස්ථානය පිරිසිදු හෙළ ගෘහ නිර්මාණ ශිල්පය දැකිය හැකි ස්ථානයෝ ය. ‌

දෙවන පෑතිස්‌ රජ දවස මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත පිරිස ශ්‍රී ලක්‌ දිවයිනට රැගෙන ආයේ නිර්මල වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයයි යැයි සඳහන් කලත් මෙයට පෙර මෙම ක්‍රියාව බුදුන්වහන්සේ විසින් සිදුනොකළේ යැයි කියන්නේ කෙසේද? හෙළයට ආනයනය කළ බුදු දහමක් නොවූ අතර මිහිඳු හිමිට ගේන්න දෙයක් තිබ්බේ නැත. ඒ, එය තිබුනේ හෙළයේ නිසාවෙනි. අතීත බුදුවරු තිදෙනාම මේ රටේ දහම් දෙසීම සිදුකර ඇති අතර අද දින ද උන්වහන්සේලාගේ නාමයන් හා බැඳී ගල් ගුහා හෙළයේ පවතී.

එදා තිබූ පිළිවෙත අනුව රජු හා පිරිස සතුන් දඩයමේ ගිය අවස්‌ථාවේදී රජු පිරිසෙන් වෙන් කොට හුදෙකලාව හමුවීම මිහිඳු මහ රහතන් වහන්සේ විසින් කරන ලද ප්‍රඥගෝචරම ක්‍රියාවක් යැයි ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් පවස යි. මේ සඳහන පොඩි ලමයින් විසින් කරනා, මහ රහතන් වහන්සේ කෙනෙකු වැනි උතුමෙකුහට සුදුසු නොවනා, සෙල්ලමක් නොවේදැයි සිතේ.

මිහිඳු හිමියන් තමන් වහන්සේ හා පිරිස ගාථා දේශනාවක්‌ කරමින් හඳුන්වා දුන් බවත් එසේ කිරීමෙන් රජුගේ බිය පහ වීමට හේතු වූ බව බවසයි. බිය පහ වෙන්න මිහිඳු හිමි අද්භුත සත්වයෙක් ද? අද්භුත ක්‍රියාවක් කළා ද? තිස්ස රජු බිය වීමට ළමයෙක් ද?

තිස්ස රජු ඔහුගේ භාරත මිත්‍රයා වූ ධර්මාශෝක රජුගේ එකම පුතා වන මිහිඳු හිමියන් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් බව දැක ප්‍රසන්න වූ සිතින් ඔහු අතැ තිබු දුනු හී විසික්කර රහතුන්වහන්සේ සමඟ පිළිසඳර කතාවේ යෙදුණු බව පවසන ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන්, අශෝකට හිටියේ එක පුතෙක් බව කියමින් තව මුසාවක් නොකියන්නේ ද? අනෙක් අතට මිස්සක පව්ව උඩ හා පහත යන දෙතැනක සිට කෙසේ පිළිසඳර කතා කරම් ද?

මිහිඳු හිමියන් සමග ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් තෙරවරුද සුමන නම් රහත් සාමණේරයන් වහන්සේද භණ්‌ඩුක නම් අනාගාමී උපාසකතුමා ද පැමිණි බව පවස යි. මෙම නම් ගොන්නේ එක නමක් හෝ ඉන්දියානු නමක් නොවනා බව නොවැටහෙන්නේ ද? ඒවායේ ඉන්දියානු උරුවක් කොහෙත්ම නැත. ඇත්තේ හෙළ උරුව නොවේ ද? අනෙක් නාමයන් පසෙකලා සුමන යන නාමය පමණක් ගෙන බැලුව ද සුමනලා හෙවත් සමන්ලා හෙළයේ මිස ඉන්දියාවේ හමුවේ ද?

මිහිඳු මා හිමියන් තමන් හා පැමිණි පිරිස රජුට හඳුන්වා දීම උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ට ලක්‍ෂණයක් බවත් බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර බවත් ඉන් කදිමට පිළිබිඹු වන බවත් සඳහන් කර ඇතත් මෙවැන්නක් කිරීමට 'බුදු දහමේ ඇති බුද්ධිමත් භාවයත් ප්‍රඥගෝචර' අවශ්‍ය ද යන්න සිතා බැලිය යුතු නොවේ ද? ඕනෑම ආචාරශීලී මනුස්සයෙක් කරනා දෙයකි මේ. ඊට බුදුදහමින් බුද්ධිමත් හා ප්‍රඥගෝචර වීම අවශ්‍ය නොවේ.

මිහිඳු හිමියන් විසින් තිස්ස රජුට ප්‍රථමයෙන් ධර්ම දේශනා කර නැත. තමන් වහන්සේ දේශනා කිරීමට අපේක්‍ෂිත ධර්ම කාණ්‌ඩය අවබෝධ කර ගැනීමට රටේ රජුට සිහිබුද්ධිය තිබේ ද යන්න දැන ගැනීම සඳහා අඹ ප්‍රශ්නය හා ඥති ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත. මෙවැනි ප්‍රශ්න විචාරමින් රජුගේ ප්‍රඥගෝචරබව සෙවීම ලාමක නොවේ ද? අද දවසේ කතාවට අනුව මෙය රජතුමාව ඇන්දවීමක් වගේ නොවේ ද? මෙවැනි ප්‍රශ්න රහත් නමකට යෝග්‍ය ද?

මොහඳුරෙහි මුළාවී මුව කෙළියෙහි යෙදුණු මුටසිව රජුගේ පුත් දෙවන පෑතිස්‌ නිරිඳු දුනු හී පොළොව මත පතිත කොට නැණ නුවන් යොමා මිහිඳු මාහිමියන් එදින විහිද වූ දහම් එළියෙන් අලෝකවත් වූ මාවතට පිවිසියේය යනුවෙන් පවස යි. නමුත්, මීට පෙර සඳහන් කලේ, මිහිඳු හිමි ඒමට පෙර මෙරට යහපත් රාජ්‍යත්වයක් නැති අභිචාර විධි ඇති රටක් ලෙස ය. එවැනි රටක රජුන්, මිහිඳු හිමියන් හමුවී පැය කීපයකින් ශ්‍රේෂ්ඨ බුදු දහම අවබෝධ කරගෙන ඇත. මේ කියමන් එකකට එකක් පරස්පර නොවේ ද?

බුදු දහම ලැබීමත් සමඟම ලාංකික සමාජයේ සංවර්ධන රැසක්‌ම සිදුවු බව පවසමින් මිහිඳු හිමිට පෙර ලාංකික සමාජය අසංවර්ධිතව තිබු බව පුන පුනා සඳහන් කර යි. මිහිඳු හිමිට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩි බව අමතක වුවා සේ ය. නා රජුන් රජකම් කළ බව, ඒ රජුන්හට නාම ගෝත්‍ර තිබු බව, ඒ රජුන්හට මැණික් සිංහාසන තිබු බව අමතක වුවා සේ ය. එය එසේ නම් මිහිඳු හිමි කළ සංවර්ධනය කුමක් ද යන්න ප්‍රශ්න කිරීම අයුක්තියක් ද?

මිහිඳු හිමිගේ ලංකා ගමන හේතුවෙන් ආධ්‍යාත්මික හා සදාචාරමය වශයෙන් සිංහලයන් ලැබූ ජයග්‍රහණ බොහොමයක් බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් පවස යි. පන්සිල් රකිමින් තම ජීවිතය හැඩ ගසා ගැනීම, ලංකා ජනතාව අවිහිංසාව ගරු කරන්නන් වීම, ඔවුන් ක්‍රීඩාව සඳහාවත් දඩ කෙළියෙහි නොගොස් සිටීම, පසු කාලයේ බෞද්ධ රජවරුන් තිරිසන් සතුන්ට පවා රෝහල් සාදා දීම තුළින් ඔවුන් තුළ සත්ත්ව කරුණාව වර්ධනය කර ගැනීම, බෞද්ධයන් පරාර්ථය සැලකීම තමුන්ගේ විශේෂ ලක්‍ෂණයක්‌ කර ගැනීම, පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා කෙරෙන කටයුතු කෙරෙහි වැඩි සැලකිල්ලක්‌ දැක්වීමට ජාතිය හුරුවීම, බුදු දහම තුළින් ලිවීමේ ශිල්පය හා බෞද්ධ සාහිත්‍යය හෙළ ජනයාට ලැබීම, මහා විහාරය ද අභයගිරිය ද ඡේතවනාරාමය ද ආදී වශයෙන් වන විහාරස්‌ථ ආශ්‍රිතව විශ්වවිද්‍යාල බිහි වීම, සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයන් ජාතියක්‌ වශයෙන් දියුණු වීම ආදී වශයෙන් කෙරෙනා මහා ලැයිස්තුවකි මෙ ය. මේ සියල්ලම මිහිඳු ගමනට පෙර තිබු හෙළ ඉතිහාසය මකා දමා, අවතක්සේරු කර ඉන්දියාවට කඩේ යෑම මිස වෙන කුමක් ද? අද ලංකාවේ ජීවත්වන හෙළයා පරගැතිව, ඉන්දියාවට ම ආවඩන, ඉතිහාසක් නැති ඕපපාතික සත්වයන් ලෙස ජීවත් වීමට, 'ඉන්දියාව අක්කා ලංකාව නංගී' ලෙස සිතීමට, ඉන්දියාව පොහොසත් කිරීමට මේ වැරදි අර්ථකථන පාදක වී නොමැති ද?

ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ හා බුදු දහම ඇතුළත් පාලි ත්‍රිපිටක සාහිත්‍යය දෙදහස්‌ පන්සිය වසරකට වැඩි කලක්‌ රැකගෙන ආවේ සිංහල බෞද්ධයන් විසින් යැයි පවස යි. මෙයට දිය හැකි පිළිතුර වන්නේ සංචි තොරණේ තියෙන්නේ හෙළයෙන් භාරතයට වැඩමවූ බෝධිය බව අමතක කර ඇත, සිරි දළදා වහන්සේ (ශ්‍රී දළදා වහන්සේ නොව) ඇතුළු බුදුන්වහන්සේගේ සියලුම ධාතුන් වැඩ සිටින්නේ ඉන්දියාවේ නොව හෙළයේ බව අමතක කර ඇත, ත්‍රිපිටක ඉන්දියාවේ නොව හෙළයේ ලියු බව අමතක කර ඇත යන්න මිස අනෙකක් නොවේ.

පැවිදි වීමට බලා සිටි අනුලා දේවි ඇතුළු පන්සියයක්‌ කාන්තාවෝ සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේගෙන් පැවිද්ද ලැබූ බව, දේශීය භික්‍ෂු පරම්පරාවේ නායකත්වය හිමි වන මහා අරිට්‌ඨ කුමාරයා මිහිඳු මා හිමියන් වෙතින් පැවිදි උපසම්පදා ලබා ගැනීම, සිංහල අපේ රටේ උපන් භික්‍ෂූන් වහන්සේ නමක්‌ පැවිදි උපසම්පදා ලබා දේශීය භාෂාවෙන්ම දහම් දෙසීමෙන් බුදු දහම ශ්‍රී ලංකාවේ මුල් බැසගත් බව හා ඉන් පසු ලක්‌දිව පුරාම බුදු දහම ව්‍යාප්ත වු බව ආදිය පැවසීමට පෙර ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන්හට යමක් අමතක වුවා සේ ය. මිහිඳු හිමියන් හෙළයට ඒමට පෙර එහි ජීවත් වුවෝ අභිචාර, අමන, මෝඩ ජාතියක් ලෙස උන්වහන්සේ කලින් සඳහන් කර තිබීම එය යි. එවැනි ජාතියකින් පැමිණෙන්නෝ වසර කීපයක් ඇතුලත රහතුන් බිහිවීම දක්වා වන තත්ත්වයට මිහිඳු හිමියන් පත්කරන්නේ කෙසේ ද? මෙය මහා පුදුමයක් ම නොවේ ද?

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බුදු සමය ස්‌ථිරව පිහිටුවීමට කටයුතු යෙදීමත් සමඟම ශ්‍රී ලංකාවේ ද ගමයි - පන්සලයි අතර සම්බන්ධය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම සැලසුණේ යැයි පවස යි. 'ලංකාවේද ...' යනුවෙන් අදහස් කරන්නේ එවැන්නක් ඉන්දියාවේ සිදුවුවා යැයි කීමද? අශෝක කාලයේ මධ්‍ය ඉන්දියාවේ භික්ශූන් වැඩ නොසිටි අතර අශෝක භික්ෂුවක් දැක්කේ කාලිංගයේ බවත් සඳහන් කරනු වැටී. එම භික්ෂුව ද හෙළයෙන් ගිය අයෙකු බව සිතීමට හේතුවන සාධක සමුහයක් නැත්තේ නොවේ.

වෙහෙර - විහාර ගොඩනැඟී කලා ශිල්පාදිය දියුණු වූයේ, අස්‌වනු පැසෙන තුරු විවේක කාලයක්‌ යොදාගෙන එම විවේකයේ දී ආගමික හා සංස්‌කෘතික කළ නිසාවෙන් ය යනුවෙන් පැවසීම සැබෑවටම බොලද තර්කයක් ම නොවේද?

මිහිඳු හිමිගේ ආගමනය නිසාවෙන් ඇති වූ කලා ශිල්ප තුළින් ශ්‍රී ලාංකික ජනතාව උත්කෘෂ්ට නිරාමිස ආස්‌වාදය ලැබුවා බව පවස යි. බුදු සිරිත තේමා කරගෙන නිර්මාණය වූ විවිධ කලා කෘති හෙළයේ අතීත උරුමයන් ලෙස විරාජමාන වන බව පවස යි. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් ද චිත්‍ර නිර්මාණයන් ද ලක්‌වැසි ජනතාවගේ කලාත්මක අතීත උරුමයන් බව පවස යි. මිහිඳු හිමිගේ ආගමනය නිසාවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ කලා ශිල්ප දියුණු වුවා නම් එම කලා ශිල්ප තුළින් ඉන්දියානු ආභාෂය පිළිබිඟු විය යුතු ය. සෑම ඉන්දියානු කලා ශිල්පයක් ම වාගේ ජනිත කරන්නේ රාගය, දේවත්වය, මෙවුම්දම මිස නිරාමිස ආස්‌වාදය නොවේ. දාගැබ්, පෙති පිළිම, විහාරාංග මෙන්ම සඳකඩපහණ, මුරගල වැනි කැටයම් නිර්මාණයන් කිසිවක් ඉන්දියාවට නෑකම් නොකිය යි.

ඉතා දියුණු තාක්‍ෂණයක්‌ ඔස්‌සේ නිම වන ලද මෙම කලා කෘති ඇසුරින් ජන විඤ්ඤාණය බෞද්ධ සංකේත මගින් පුබුදු වන බව ද සීගිරි බිතු සිතුවම් ඇතුළු සියලු කලා නිර්මාණ ලාංකික ජනතාවගේ ශ්‍රේෂ්ඨතම උරුමයන් බව ද සමාජ, සංස්‌කෘතික, ආගමික නවෝදයක්‌ ඇති කරමින් මේ සියල්ල හෙළයට ලැබුනේ පොසොන් පොහොය නිසාවෙන් බව ද එනම් මිහිඳු හිමියන් නිසාවෙන් බව ද පුන පුනා පැවසුව ද මේ කිසිවක ඉන්දියානු ලක්ෂණ තියෙනව ද යන්න සිතා බැලිය යුතු නොවේ ද?

මේ අනුව වාපි තාක්ෂණය හෙවත් වැව් තැනුවේත් මිහිඳු හිමියන් විසින් දැ යි? ප්‍රශ්න කිරීමට සිතුන ද වාසනාවට එවැන්නක් සඳහන් කර නැත. මුළු ලෝකයේම වැව නම් විශ්වකර්ම නිර්මාණය තියෙන්නේ හෙළයේ පමණක් බව, එය ඉන්දියානු තාක්ෂණයක් නොවනා බව ආචාර්ය බෝදාගම සීලවිමල හිමියන් දැන සිටි බවකි.

මිහිඳු මහ රහතන් වහන්සේ සිදු කළ තවත් වැදගත්ම කාර්යයක්‌ වූයේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ශ්‍රී ලාංකිකයන්ටම පැවරීම යි යනුවෙන් සඳහන් කිරීමෙන් මුසාවාදයේ කෙළවරටම ගොස් ඇත. මෙය බුදුරජාණන්වහන්සේවත් නොකළ ක්‍රියාවක් නොවන්නේ ද? මිහිඳු මහ රහතන් වහන්සේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ වගකීම ඉන්දියානුවන්ට ලබා නොදීම දෙස සැකයෙන් තොරව බැලිය හැකි ද?

ලාංකික මවුපිය දෙපළකගේ දරුවකු ලංකාවේදී ම මහණ උපසම්පදාව ලබා ධර්ම විනය හදාරා ලංකාවේදී ම විනය සංගීතියක්‌ පවත්වා සසුන මුල් බැස ගන්නා බව දේශීයත්වයට ප්‍රමුඛස්‌ථානය දෙමින් මිහිඳු හිමියන් පැවසුවේ යැයි ලිවීම, බුදුන්වහන්සේවත් අනුදැන වදාරා ඇතැති සිතිය නොහැකි සිතලුවක් ම නොවේ ද?

සිංහල කුල පුත්‍රයන් පැවිදි කර අටුවා සහිත ත්‍රිපිටක ධර්මය උන්වහන්සේලාට ඉගැන්වූ බව පවස යි. අසීලාචාර සිංහලයන් ක්ෂණිකව ම සීලාචාර වී ඇති සේ ය. අසීලාචාර සිංහලයන් ත්‍රිපිටක ධර්මය උගැන්මට පවා දියුණුවී ඇති බව, එවැන්නක් මිහිඳු හිමියන් කළ බව පුදුමයක් ම නොවේ ද? වැරදී ඇත්තේ කොතන ද? සීලාචාර සිංහලයන් අසීලාචාර සිංහලයන් ලෙස හැඳින්වීම ද? නැතහොත් මිහිඳු හිමි නොකළ දෙයක් සිදු කළා යැයි කියමින් හෙළයාගේ ශ්‍රේෂ්ටත්වය පාගා දැමීම ද? තවද, මෙයට පෙර බුදුන්වහන්සේ හෙළයට වැඩි ගමනේ බුදු මග ගිය හෙළයන් සිටින්නට ඇත යන්න ද මුලුමනින්ම අමතක කර දමා ඇතුවා සේ ය.

මිහිඳු හිමියන් ත්‍රිපිටකයට සිංහල භාෂාවෙන් අටුවාද පිළියෙල කළ බව පවස යි. හිරිකිතයක් නැතිව

මෙවැන්නක් පවසන්නේ කෙසේ ද? මින් ඉහත අකුරු බැරි සිංහලයන් යැයි හංවඩු ගසා පසුව මිහිඳු හිමිගේ ජීවිත කාලය තුළදී ම ඔවුන්හට ලිඛිත සිංහලයක් ලැබූනේ කෙසේ ද? මේ වෙන දෙයක් නොව අපබ්‍රංශක්ම නොවේ ද?

මිහිඳු හිමි වඩින්නට පෙර හෙළයා අත්විඳි ලිඛිත බසින් පිරි උදාර සංස්කෘතිය පිළිබඳව කියාපාන කරුණු කාරණා දැන් දැන්, සම්ප්‍රදායට වැඳ වැඳ නොසිටිනා උගතුන්ගේ උත්සාහය හේතුවෙන්, හෙලිදරව් වෙමින් පවතී. 'බුදුන්වහන්සේ මෙරටට වැඩම කිරීමටත් පෙර මෙරට බුදු දහම පැතිර තිබු බවට සාක්ෂි ලැබී ඇතැ' යි කැලණිය විශ්වවිද්‍යායේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් පසුගියදා කළ හෙලිදරව්වේදී මිහිඳු හිමි වැඩීමට පෙර භික්ෂුන්වහන්සේ වෙනුවෙන් 'අක්ෂරයෙන් ලියා පූජා කළ ගල්ගුහා' හමුවූ බව පවසා සිටියේ ය.  (විඩියෝව බලන්න)
මිහිඳු මා හිමියන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජවලින් හට ගත් බෝ අංකුර දිවයිනේ සෑම දිසාවකම පාහේ රෝපණය කරවා දිවයින පුරාම තවත් වෙහෙර ඇති කරවූවා යැයි පවසනා විට දිවයින පුරාම වන වෙහෙරයන් හී රෝපණය කිරීම සඳහා කොපමණ බීජ සංඛ්‍යාවක් අවශ්‍යය වන්නට ඇති ද යන්න අමතක 

වුවා සේ ය. වසර 28 ක්‌ පමණ වන මිහිඳු හිමිගේ ජීවිත කාලය තුළ මෙවැන්නක්, මෙවැනි මහා ව්‍යාප්තියක්, සිදුකළ හැකි ද? සැබෑව නම්, මෙවැන්නක් කිරීමට සැබෑවටම අවශ්‍ය නොවී ය යන්න යි. ඒ, බෝධි සංස්කෘතිය හෙළය තිබුනේ මිහිදු හිමිට පෙර කාලයේ සිට නිසාවෙනි.

පසුකාලීනව වැඩිදියුණු වූ ලංකා බෞද්ධ කලා ශිල්පවලට පදනම වැටුණේ, සම්බුද්ධ ශාසනය චිරස්‌ථායී වීමට අවශ්‍ය සෑම අංගයක්‌ම ඇති කරවීමට මිහිඳු මාහිමියන් වහන්සේ ක්‍රියා කළ බව පෙනේ යැයි කීමට පෙර මිහිඳු හිමි වැනි නික්ලේශී රහත් උතුමෙකු මෙවැනි ලෞකික දේ දියුණු කිරීම සඳහා පදනම දමාවි ද? යන්න අමතක කර දැම්මේ කෙසේ දැයි සිතීම වටී.

වසර 28 ක්‌ පමණ මෙරට ශාසනය වෙනුවෙන්ම ඇප කැපවී ක්‍රියා කළ අනුබුදු මිහිඳු මා හිමියන් වහන්සේ උපතින් සැට වන වියෙහි පසු වෙද්දී දෙවන පෑතිස්‌ රජුගෙන් පසු රජ පැමිණි උත්තිය රාජ සමයෙහි පිරිනිවන් පා වදාළ යැයි පවස යි. මහරහත් මිහිඳු හිමියන් පිරිනිවන්පාන්න ඉන්දියාවට නොගියේ ඇයි? උන්වහන්සේගේ ධාතුන් වහන්සේ හෙළයේ, අම්පාරේ රජගල, තැම්පත් කලේ ඇයි? යන්න මෙහිදී සිතිය යුතු කරණා නොවන්නේ ද?

6.12.2014

ආනන්ද රාත්‍රී

වෙලේ ඉඳන් එන
මද නලේ එතීලා
තුරු මුදුන් එකිනෙකා
රහස් කොදුරද්දී,
රඹුටන් ගහේ
කොල අස්සේ
හප බිම දාමින්
ගෙඩි හොයන
මා වවුලෝ,
තුන් දවසකට කලින්
ඇද හැලිච්ච
මහ වැස්ස
මතක් වෙලාදෝ
වෙලා අද්දර
හබරල පැදුරේ
හැංගීලා
බක බක ගානා
ගෙම්බෝ,
කිතුල් ගහේ
කොළ මැරිච්ච
ඉහල අත්ත
උඩ ඉදගෙන
ඇස්කන් ඇරගෙන
හුම් හුම් ගානා
බස්සෝ,
තුරු මුදුන් දොවාලා
දෙරණ තල සෝදනා
සඳ කැලුම්
සුන්දරයි
පිවිතුරුයි,
දැහැන් සිත් වඩවනා
අමා සුව ගෙනදෙනා
නිහඬ
නිසල
රාත්‍රිය.

6.11.2014

සඳ විදීම

පාන්දර එකහමාරයි
සඳ පායලා
මහ ලොකුවට.
ගළනවා සඳරැස්
කාමරය ඇතුලට
නැතිව කිසි වෙහෙසක්
මහ දවල් වාගේ.
අමතකවුණා
උදේ ඉදලා 
විඳපු වෙහෙස
ඇසිල්ලකින්.
සඳට කතා කළා.
සඳ රැස්වලට 
කතා ළා.

කොබෙයියනේ

වෙල ඉස්මත්තේ
කොස් ගහ මුඳුනේ
අත්තක් උඩ හැංගීලා,
ඈත වන්නියේ
කඳුවැටි
ගංගා
දිය ඇලි අතරේ
පා කරමින් මා සිත
අරගෙනයන
නුඹගේ හඬ
මා දෙසවනේ රඳවා,
නිහඩ නොවී නිමේශයක්,
නිරන්තරේ
හුම් හුම් ගාපන්
කොබයියනේ.

6.10.2014

(ආත්මාර්ථකාමී) ප්‍රේමය

‘මම හොඳින්
බලාගන්නම්,
ජීවිතය
පුරාවට.
අන්ධවෙන්න
ඔබ'

පාඩම

ඒයි සඳ
සුදු සඳ
හිනැහෙනවද මට
මා ළඟ නැති
ඈ වත
නුඹ වගෙයි කීවට.

බලාපන්
ඈතින් එන
කළුවලාව දෙස.

මට වුනෙත්
ඔය ටිකයි.

6.09.2014

බවය

ගන්දබ්බ මම,
නොයෙක් අත
නොයක් දෙස
ඇවිද ගොස්
අයාලේ,
නතරවුණා
ඔබ ළඟ.

6.06.2014

කළු හිත

කුඩාවට
මහ දරුණු
මකුළුවෙක්
වැඩෙනවා
මගේ හිතේ.
තලතලා
අත් මිටෙන්
පොඩි කළත්
නොයෙක්වර,
දිවා
රෑ
උපදිනවා

මගෙ හිතේ.
හපයක් කරනවා
මම ඌව
නොදී
කිසිම කිසි බුරුලක්,
කළු
කැත
විෂ ගුළිය.
මිරිකාදානවා
අහකට
කළු මකුළුවා
මම
ඉන්න
මගෙ හිත තුළ,
ආයේ නොඑන්න
සදහටම
මගෙ හිතට.

ඉවසීමේ කෙළවර

ඉවසීමේ
කෙළවර
සොයනවා
මම.
ඉමක්
නොපෙනෙන
දුක්ඛ
දෝමනස්සයන් අතරේ
ඉවසීමේ
කෙළවර
සොයනවා
මම.
මනුස්ස ප්‍රේතයා
උරාබොද්දී
ඇට
මස්
ලේ
සියළු සාරය,
ඉවසීමේ කෙළවර
සොයනවා
මම,
අද දවස.

වෙනසක අරුමය

වෙසක් මහේ
හිතට
ඇඟ මසට
දැනෙනා
සුමිහිරි
ඒ සුවඳ
ඒ සුවය,
උඳුවප් මහේ
නොදැනෙන්නේ
මන්දැයි
අරුමයක්මයි
එදත්
අදත්.

නිවන් දොර?

නූල්
පොටක්වත්
අත්හැර
යන්න බැරිව
විඳවනවා
මිනිස්සු
අත්හැරලා
යනකොට
මේ
ලෝකේ,
නූල්
පොටක්වත්
අරගෙන
නොආපු
මිනිස්සු
මේ
ලෝකෙට
එනකොට.

අකුරට යන පුතුට

සම්බුදුන් සරණින්
සියළු දෙවි පිහිටෙන්,
නැණ නුවණ ඇතිවී
යහපතම සිදුවී,
දිනේවා ඔබ
නිලඹ'රේ පුන් සඳක් විලසින,
යහපතම සලසා
සැනසීම සාදලා
සියළු ලෝ දනහට.
එයයි මා පැතුම
මුල්ම දවසේ
ඔබගේ දිවියේ
අකුරු කරනට
ලොව දකින්නට
සැරසෙනා මොහොතේ,
මගේ පුතේ.

අරිට්ඨ පබ්බත

තැබුවෙමි දෙපා
ජීවිතයෙ මුල්වරට
පන්සියයක් රහතුනට
වාසභූමි වූ
අරිට්ඨ පබ්බතයට.

අශෝක රජ පුත්
මහ රහත් මිහිදු හිමි
සිරිලක පැමිණිදා
දෙවනිපෑතිස් රජුන්ගේ
අරිට්ඨ නම් ඇමතිතෙම
බුදු වදන් අසා
අරි අටමගෙහි ගමන්කර
කෙලවර ලබාගත්තේ
නිවන් මඟ.

ඔහු ඇතුළු
පන්සියයක්දෙන
සසුන් ගතවිය
කෙලෙස් රැහැනින් මිදී
නිව්නා තැව්නා වූ
සිත් ඇත්තන් වී.

ඔවුන්ගේ වාසයට
රජුන් පුද ඒ බිම
එකල විය
අරිට්ඨ පබ්බත
මෙකල
රිටිගල.

එය වීය ඉතිහාසය.

සැබවින්ම නගරයකි
සෙල්මුවා නගරයකි.
වනය තුල සැගවුණු
සියල්ලෙන් පෝෂිතව.
ඔසු ඇඹරුම් හල්
හා
ඔසු ගල්වන ඔරු
වේ අදත් ජීවමානව
ගෙනහැර පාමින් සාක්ෂි
පැවතිය බවට මෙහි
වෙදහලක් - රෝහලක්
මහ සඟරුවනට
යම් විටෙක
ජනී ජනයාද
සුවපත් කළ.

එහි ප්‍රයෝජන පිණිස
අප සිහළුන් සිටවූ ඔසු
හනුමා ගෙනවුත් දැම්මේය යන්න
නොවේද මහ මුසාවක්
මහ විහිළුවක්.

සිව් මහා ඵලයන්
මුර්ති කරනා
පියගැට පෙළම මනරම්
ප්‍රමාණවත් වේ
සිහල ගල්වඩුවාණෙනි
සිහල කලාකරුවාණෙනි
ඔබ පුද පෑ ආගමට
සම්මා සම්බුදු වදනට වූ
ඔබ මහත් ආදරය
ඔබ මහත් භක්තිය
පෙන්වා දීමට.

කෙලෙස
ඔසවා තබන්න ඇද්දැයි පවා
සිතාගත නොහැකි
මහා ගල්කණු
සෙල්මුවා ඒ දඩු පාලම්
ඔබ දෑතේ වීරියෙන්
හා
ඔබ ඥාණයෙන්
ඔබ තැබූ ඒ ඒ තැන්හි
අදද
නොසෙලී
අභීතව
කාහල නාද
නඟන්නේ වේ.

ඒ සා විශාල
මහ ගල් පර්වත
ඔබ කුළු ගෙඩියෙන්
දෙපළු වූ තැන්
අදද එළසින්ම
ජීවමානව ඇත්තේ
නොයෙක් අත
නොයෙක් දෙස
විසිරී පැතිරී.

ඒ කැපුම් නෙක
අතගා බැලුවෙමි
ආදරය
සතුට
ගර්වය
ශෝකය
මුසු හැගුමින්.

වැටෙන වැසි දිය
නොතබා උරාගන්නට
සරු පොළොවට
රැගෙනවිත් නල දිගේ
සෙල්මුවා නල දිගේ
පිහිටි උස් බිම් පොකුණට
බෙදාදී ඇති අයුරු
ඒ දිය
ඒ ඒ නිසි තැනට
පුදුමයි
අදහන්නට ඔබ
ශිල්ප ඥාණය
මියයන ජාතියක් වන
මෙකල වෙසෙනා අපට
පැවතෙනා ඔබගෙන්ම.

6.05.2014

පුතුට කියූ නැළවිලි ගී

මගේ පුතුට බුදු සරණයි
මගේ පුතුට දම් සරණයි
මගේ පුතුට සඟ සරණයි
මේ තුන් සරණේ සරණයි

මගෙ වස්තුව නුඹයි පුතේ
මගෙ සම්පත නුඹයි පුතේ
මගෙ ඇස් දෙක නුඹයි පුතේ
මට මගෙ පණ නුඹයි පුතේ

රන්වන් මුව පොඩිය පපා
හිනැහෙන පුත සඳ වැන්නේ
හිනැහෙන සඳ මා උර මත
මා නිරිඳෙකු කරවන්නේ

රට ජාතිය හා ආගම
ගහකොළ හා සතුන ද සැම
රැකගන් පුත නුඹ පණ මෙන
එය පුත නුඹගේ යුතුකම

සම්බුදු සදහම් වරුණේ
නුවණින් දැකගන් පුතුනේ
ඒ නුඹ සැනසුම මඟ බව
සැම දින සිතනුය පුතුනේ

මෝහය

නූල් පොටක්වත්
දාලා යන්න බැරිව
විඳවනවා
මිනිස්සු
දාලා යනකොට
මේ ලෝකේ,
නූල් පොටක්වත්
අරගෙනනාපු
මිනිස්සු
එනකොට
මේ ලෝකෙට.

6.04.2014

ඔස්කෝලේ

කතාකරන්නේ නෑ
වෙනදා වාගේ
සින්දු අහන්නෙත් නෑ
සින්දු කියන්නෙත් නෑ
වෙනදා වාගේ
ගජරාමෙට වැඩ,
ඔස්කෝලේ.
පෑන්
පොත්
පැන්සල්
පාට කූරූ අස්කරනවා.
උඩින් තියනවා.
බිමින් තියනවා.
ගජරාමෙට වැඩ,
ඔස්කෝලේ ඇරිලා
ගෙද‍ර ඇවිත්
මගේ පුතා.
මහ රෑ යාමෙත් වැඩ,
ඔස්කෝලේ.

ගිය සතියේ මතකය

වියලෙන්න
දෙනවාද
මුදා හරිනවද
අස්ගුලිවල
කදුළු ?
හුරතලය
රූප අඳිනවා
ඇතුලෙ
හිත.

දියණී

පුන් සඳ මුහුණ පෙන්වා හිනැහෙන            දියණී
දියණිය නොවෙයි මා පුතු කියනා              දියණී 
තාත්තා කියද්දී මට මා නැතිවෙන             දියණී
මගෙ පණ නුඹයි මට මගෙ පණ නැත         දියණී

බැසයන හිරු අහස් කුසේ

බස් වහරක
සියලු වචන
එක්කොට ගත්තත්
කියාගන්ට බැරි තරමේ සුන්දර
බැසයන හිරු මඩලතුලින්
මැවෙනා ඒ චමත්කාර
චිත්‍ර රටාවෝ,
සිතිජය කෙළවර වන්නට
පුළුන් සේද මැද සැඟවූ
ගිණියම් වූ
වානේ කදක් සේ රත්පැහ
වළා කැරලි
සුදු පැහැගත් සේදවලා
ලේ රත් පැහැ මැද
රිදී කදක් සේ දිලිහේ.
වලා තීරු
තුලින් පෙරෙන
හිරු කදම්භ
මවනා රූ ඒ,
බලන්න.

ආදර කතාව

මියයනු ඇත
මා
නොබෝ දිනක.
රැදෙනු ඇත
හුස්ම පොද
නිමේශයක් ඔබ හදේ,
මුසුවන්නට පෙර
වාතලයට.
කියාවි එය,
කොතරම් ආදරය කලාද
මම
ඔබට.
එවිට ඔබ
ආදරය කරනු ඇත
මියගිය මට
ජීවත් වූ මා
අමතකකර
සදහටම.
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS