5.16.2014

අගනුවර වෙසක් සිරි


පාලම්තුන හන්දියේ
ඇලට උඩින් පැනලා යන
කන්ථක අස්පයගෙ වලිගේ
ජන්න ඇමති එල්ලී හිටියා
නොවදින්නට පස්ස ගාතේ,

අද නැතිවට එදා හිටිය
නමක් තියෙන මහා නයෙක්
වෙලී සිටියා බුදු සිරුරේ
පැරිස් බදාමෙන් හදාපු,
විකුණන්නට මස් පුච්චන
අකුරු තුනේ මහා කඩේ
වෙනදා වාගේ ඇරලා තිබ්බා
දෙවෙනි නැතිව දන්සලකට,

චීන රටින් මෙහෙට ආපු
කහපාටට රෙදි ඇන්ඳපු
ප්ලාස්ටික් බෝනික්කෝ
මහ හයියෙන් පිරිත් කිව්වා
වෙසක් කුඩුවක් ඇතුලේ,

රේඩියෝ හඬ නළුවෙ
පටාචාරාගේ හිමි
'කුලී වැඩක්' කරලා
'සොච්චමයිලු' හම්බ කෙරුවෙ,

'ස්ටෙප්ස් තියනකොට
පොඩි බුදු සාදූ
ෆ්ලවර්ස් එනවා පොලොව උඩට
TV එකේ දැක්කා වගේ'
අම්මෙක් කියනවා දුවට,

වැඩ හිටිය
බුදු පිළිම පේලියට කෙලවරේ
කහපාට බිල කඩන
බුදු පිළිම සල්පිලක්
'සංස්කෘතික අරමුදල'
නම ලියපු මහ වාඩියේ,

'Click here you will see me naked'
'You, looking here? '
හා තවත් එවැනි වැකි
ඇද ගත්තු යව්වනය
සීරුවට මහ පාරේ,

පච්චයක් බුදු රූපේ
කෙටුවාට දකුණතේ
පිටරැටියා
පිටරටට
දක්කාපු රටයි මේ
රකින්නට බුදු දහම.

... ඊයේ දියවන්නාවේ වෙසක් බැලුවා.
15052014

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS