11.20.2013

සම්පත් මිතුර

දනිමි
සහසුද්දෙන්
නොසිතනා වග
නුඹ
සමු දෙන්නට
නාවාට
නුඹගේ
අවසන් ගමනට.
හිස නිකට යා කළ
සුදු රෙදි පටිය
මෑත කෙළවර.
සුදු සරම
ඈත කෙළවර.
නොපියවූ කමිසය
නිසාවෙන්
පෙනුන
සැත්කම් සැඟවූ
පැලැස්තර
එක
දෙක
තුන
හතර.
මෝචරිය අභියස
යකඩ ඇඳ උඩ
කිසිඳු කිසි
කලබලයක් නැති
නුඹ,
පුරුදු ගති ලෙසටම,
පෙර දවස.
අලෙවි නොකළ
සුන්දර සිනහ ඇති
අලෙවි අධ්‍යක්ෂක,
නුඹ.
දහසක්
මිනිසුන් මැද
තවත් එක් මිනිසෙක්
පමණක් නොවූ,
උදය
දහවල
හා සවස
සෑම විට
සෑම කළ
හමු නොවූව ද,
නොයෙක් දේ
හරබර ඇගයුම් කළ,
සිත් සතුට
හා සිත් අවුල
එක සිත්ව අසන්නට
පෙර පුහුණු
හෙයින් පිරි
මිතුරෙක්
සෝවුරෙක් වු
නුඹ ගැන කියන්නට,
පදයක්
පද වැලක්
සෙවූ තැන
නැත හමු වුයේ
වෙන යමක්
'යහපත් මනුස්සයෙක්'
යන්න හැර.
ගැලපෙනවා
යෙහෙන් එය
නුඹට,
නුඹ ගුණයට
අඩුවක් නොවන එසට ම.
යහපතම වේවා නුඹට,
සැබෑවට.
යහපතම වේවා නුඹට,
නුඹ ගිය ගමනට,
සම්පත්
මා
මිතුර.

No comments:

Post a Comment

 
BLOG TEMPLATE BY DESIGNER BLOGS