පුත, දැනෙනවද උණුසුම
මා ළය උණුසුම
යෙහෙන් නුඹට.
කිරි සිනා පා
සුනිඳු සමනොළ
නුඹ අතින් ඇද
සුනිඳු සමොනළ
නුඹ පයින් ඇන
උණුසුම සෙවූ,
මා ළය උණුසුම
නුඹ විඳි උණුසුම,
දැනෙනවද පුත.
නොහඬනා පුත
මහ විසල්
නෙක නගර
පසුකර දුවන
මහ මඟ
බස් රථය තුළ
නුඹ හා මා හිඳින.
පුත, දැනෙනවද උණුසුම.
බිය නොවන් පුත
ඇත ඔහු
අප අසල
මා, නුඹ අසල,
පහන් කරමින් නොනිදා
නුඹ
පෙනෙන, නොපෙනෙන දුරින්
සිටියා මෙන්,
නුඹ ඇස දල්වා
ලොව බැලූ
ඒ මොහොතේ සිටම,
අතීතයේ ඒ දවස.
මහරගම රෝහල,
දස අත මුසු වූ
සුවඳ, බෙහෙත් සුවඳ,
නුඹ යෙහෙන් විඳි
මා යෙහෙන් විඳි
බෙහෙත් සුවඳ,
සැපයක්ම නොවුනේද, පුත
දෙහෝරාවකට පෙර
නුඹට.
බෝධිසත් වෙද ඇදුර
බොහොම පිං ඔබට.
පුත, දැනෙනවද උණුසුම
හිඳින මා පුත
මා ළයට තුරුලුව.
කළුම කළු දිලිසෙනා මහ රථය
නුඹ මා උකුළ මත
ඉඳිනා අතර විඳ සුව,
ඉදිරි මහ අසුනට බරව
අප ගෙදර යන
ගමන කරනට එලෙස,
අවසන,
පුත
නුඹ පියා
සමත් නැත.
පුත, දැනෙනවද උණුසුම.
මෙසේ යමු පුත
සැතපෙන්න
මා අසල
අප අසල
මා උපන්
ඔහු උපන්
නුඹ උපන්
අප ගමට
ඈත ඈත
මහ රට ඇති
අප ගමට.
පුත, දැනෙනවද උණුසුම.
නොහඬන් පුත,
හැඩු තරම් නිමක් නැත
නොහඬන් පුත,
හැඩු තරම් අතීතයේ
හොදටෝම ඇත,
සැබෑවටම ඇත.
අවසන්ය පුත
සියල්ල
ඒ ලෙසින්ම විය,
විය යුතු ලෙසින්ම විය.
පුත,
නිදන්න පුත
යෙහෙන්
සතුටින්
නිදන්න පුත
උණුසුමින් මට,
මගේ උණුසුමට.
පුත, දැනෙනවද උණුසුම.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment