මිදුනෙමි
බැම්මෙන් මිදුනෙමි.
මහත් වූ බරක් හිස් හී නොරඳී.
උදය, දිවා කල මෙන් ම රාත්‍රිය ද සෙමින් ගෙවීයයි.
සෙලවීමක් නොවේ,
කාලයෝ ගෙවී යයි.
එහි ලතාවක් ඇත.
අමුතු මිහිරක් සිත්වදී.
සිත් තැවුලක් නැත.
අවලාද නැගීමක් නැත.
අවලාද නැගීමට හේතුවක් නැත.
යලි හේතු නූපදී.
නූපදිනා සේ මියගොස් ය.
රැවටීමක් නැත.
මුසවෝ නැත්තේ ම ය.
කයෙහි නැත, මනසේ නැත, ව්‍යාධියක් නැත්තේ ම ය.
අතීතය වර්තමානයේ මතකයක් පමණි.
එහි ඇලීමක් නැත.
දුව පනින පණ ඇති මලක් වෙයි.
අනාගතය හා සැසඳීම නැත්තේ,
ඇත්තේ ලේ බැඳීමක් පමණි.
අවලාද නැගීමක් නැත.
අවලාද නැගීමට හේතුවක් නැත.
වසා තැබූවක් විවර කෙරුවා සේ ය.
අඳුරින් එළියට ආවා සේ ය.
විවර කළ දොරින් ආලෝකය ගෙට වදී.
ඒ අලෝකයෝ උරා බොත්.
ඉක්මනක් නැත. කොහෙත්ම නැත.
සෙමින් සෙමින් උරා බොත්.
නිදහස් සිත් සියොත්හු ඉගිල යත්.
නොයෙක් රස බුදිමින් යලි සිත් සේ ඉගිල යත්.
සිත් සියොත්හු ඉගිල යත්.
දුකෙහි ම ගිලුනේ,
ගහට පොත්ත සේ ජීවිතය හා යා වූයේ.
ලෝකයට හඬගා කීවේ,
කය ද සිත ද අවුල් වී
මනෝ විකාරයේ කෙලවර සිට ගත්තෙමි.
එහි කෙලවරින් මෙපිටට පනින්නේ,
දිරාගිය ළී දණ්ඩ
දෙකෙලවර අල්ලා එක්කර නො බිඳෙන සේ.
මහත් වෑයමකි.
කුස කියා කොදු ඇටය ද
කොදු ඇටය කියා කුස ද අත ගෑ
හේ
මට සිහිවේ.
දුව පනින පණ ඇති මල
සිත් පතුලින් සිනාසුනේ,
විකෘතියෙන් මිඳුනෙමි.
අතීත හැව අත්හැරිය යුතු ම ය.
අතීතයෝ එක් බැඳීමකි.
අනාගතය හා බැඳීමක් පමණි, ඒ.
අඳුරු බිම්ගේ කෙලවරට බඩගා ආවෙමි.
එලි තිතක් වේ.
කළු වළාවෝ පහවයත්.
ස්වර්ණ රේඛාවක් වේ.
එය හා බැඳෙමි.
එහි සුවය හා බැඳෙමි.
සිත් පුබුදා
මායාවෝ පලවා හැර
බැඳීමෙන් තොරව බැඳෙමි.
ස්වර්ණ රේඛා එළි තිත
ඉදිරි මග ආලෝකය ම විය යුතු.
හැරීමක් නැත,
ඉදිරියට පා එසවූයේ, හැරීමක් නැත.
එළි තිත හා බැඳෙමි.
ස්වර්ණ රේඛාවෝ හා බැඳෙමි.
එයම අරමුණු කරන්නෙමි.
සිත් මල කිසිත් නැත.
ස්වර්ණ රේඛාවෝ,
මනස් කුහරය පතුල ම
වැළදගෙන ඉන්නේ,
එය ම සිත්ගනී.
එය ම අරමුණු වෙත්.
7.24.2011
උදානය
share: facebook | twitter | pinterest
Labels:
Poems\කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment