7.24.2011

උදානය

මිදුනෙමි
බැම්මෙන් මිදුනෙමි.
මහත් වූ බරක් හිස් හී නොරඳී.
උදය, දිවා කල මෙන් ම රාත්‍රිය ද සෙමින් ගෙවීයයි.
සෙලවීමක් නොවේ,
කාලයෝ ගෙවී යයි.
එහි ලතාවක් ඇත.
අමුතු මිහිරක් සිත්වදී.
සිත් තැවුලක් නැත.
අවලාද නැගීමක් නැත.
අවලාද නැගීමට හේතුවක් නැත.
යලි හේතු නූපදී.
නූපදිනා සේ මියගොස් ය.
රැවටීමක් නැත.
මුසවෝ නැත්තේ ම ය.
කයෙහි නැත, මනසේ නැත, ව්‍යාධියක් නැත්තේ ම ය.
අතීතය වර්තමානයේ මතකයක් පමණි.
එහි ඇලීමක් නැත.
දුව පනින පණ ඇති මලක් වෙයි.
අනාගතය හා සැසඳීම නැත්තේ,
ඇත්තේ ලේ බැඳීමක් පමණි.
අවලාද නැගීමක් නැත.
අවලාද නැගීමට හේතුවක් නැත.
වසා තැබූවක් විවර කෙරුවා සේ ය.
අඳුරින් එළියට ආවා සේ ය.
විවර කළ දොරින් ආලෝකය ගෙට වදී.
ඒ අලෝකයෝ උරා බොත්.
ඉක්මනක් නැත. කොහෙත්ම නැත.
සෙමින් සෙමින් උරා බොත්.
නිදහස් සිත් සියොත්හු ඉගිල යත්.
නොයෙක් රස බුදිමින් යලි සිත් සේ ඉගිල යත්.
සිත් සියොත්හු ඉගිල යත්.
දුකෙහි ම ගිලුනේ,
ගහට පොත්ත සේ ජීවිතය හා යා වූයේ.
ලෝකයට හඬගා කීවේ,
කය ද සිත ද අවුල් වී
මනෝ විකාරයේ කෙලවර සිට ගත්තෙමි.
එහි කෙලවරින් මෙපිටට පනින්නේ,
දිරාගිය ළී දණ්ඩ
දෙකෙලවර අල්ලා එක්කර නො බිඳෙන සේ.
මහත් වෑයමකි.
කුස කියා කොදු ඇටය ද
කොදු ඇටය කියා කුස ද අත ගෑ
හේ
මට සිහිවේ.
දුව පනින පණ ඇති මල
සිත් පතුලින් සිනාසුනේ,
විකෘතියෙන් මිඳුනෙමි.
අතීත හැව අත්හැරිය යුතු ම ය.
අතීතයෝ එක් බැඳීමකි.
අනාගතය හා බැඳීමක් පමණි, ඒ.
අඳුරු බිම්ගේ කෙලවරට බඩගා ආවෙමි.
එලි තිතක් වේ.
කළු වළාවෝ පහවයත්.
ස්වර්ණ රේඛාවක් වේ.
එය හා බැඳෙමි.
එහි සුවය හා බැඳෙමි.
සිත් පුබුදා
මායාවෝ පලවා හැර
බැඳීමෙන් තොරව බැඳෙමි.
ස්වර්ණ රේඛා එළි තිත
ඉදිරි මග ආලෝකය ම විය යුතු.
හැරීමක් නැත,
ඉදිරියට පා එසවූයේ, හැරීමක් නැත.
එළි තිත හා බැඳෙමි.
ස්වර්ණ රේඛාවෝ හා බැඳෙමි.
එයම අරමුණු කරන්නෙමි.
සිත් මල කිසිත් නැත.
ස්වර්ණ රේඛාවෝ,
මනස් කුහරය පතුල ම
වැළදගෙන ඉන්නේ,
එය ම සිත්ගනී.
එය ම අරමුණු වෙත්.

6.12.2011

ඉවසීම

පැය දෙකක් නොවේ
පුරා දින හයක්
ඉව අල්ලනවා,
සඳු මියයන
හිරු පිපිදෙන
සත් වෙනි දවසට
ඉව අල්ලනවා,
විඳගන්න ඒ සුවඳ
මුදු පහස ලබන්නට
ඉව අල්ලනවා,
මම
මට මගේ වෙන
ඒ මොහොතට
ඉව අල්ලනවා,
විශ්මිත ලොකු ඇස්
දෝරේ ගලන කිරි සිනා
වියත් දිගු කෙහෙ රැළි
දුව පනින දඟ පොදිය
දකින්නට
විදින්නට
ඉව අල්ලනවා,
පැය දෙකක් නොවේ
පුරා දින හයක්,
මම.

4.26.2011

කිරි සිනහා

මගේ ගත
මම සොයයි
කිරි සිනා
මට ඇසේ.
මගේ හිත
මම සොයයි
කිරි සිනා
මට ඇසේ.
මගේ ගත - මගේ හිත
කිරි සිනා - කිරි සිනා
හැම තැනම
කිරි සිනා.
කිරි සිනා
මට ඇසේ.
මගේ ගත - මගේ හිත
මගේ ළඟ  - මගේ ළඟ.
මගේ හිත
මගේ ළඟ,
මගේ ගත
මගේ ළඟ.
කිරි සිනා
මගේ ළඟ
හැමදාම.

4.12.2011

ස්තූතිය

ඇසූ දේ

   'තව ටිකක් ඉවසන්න තිබුනා'
   'මේ රටේ නීතිය කරපු දෙයක්'
   'දැන් ඔහොම හිටියට මිනිහා අතේ තමයි වරද ඇත්තේ'
   'මොනවා වුනත් අරයා හරි ඇති, බලන්න අහිංසකකම'
   'ප්‍රශ්ණ වලට මූණදෙන්න දන්නේ නෑ, එච්චරයි'
   'තෙරුවන් සරණයි'

සිතූ දේ

   පැමිණි හැමෝටම ස්තුතියි

3.19.2011

සිල් සුවඳ මගෙ පුතුට

සංසාරෙන්
එතෙර වෙන්න
අ යනු ආ යනු කියනවා
මගේ පුතා
සුදට සුදේ
සුදු ඇඳගෙන.
ඔබේ පියා
මා නොවන්න
මගේ පුතා
ඔබ නොවන්නදකින්නට කෙළවරක්
මේ සංසාරේ
අ යනු  ආ යනු කියනවා
මගේ පුතා
සුදට සුදේ
සුදු ඇඳගෙන.
එරමිණියා
ගොතාගෙන
ඇස දල්වා
අතන
මෙතන
පුන් සඳ පරයන
මුහුණ දල්වගෙන
අ යනු  ආ යනු කියනවා
මගේ පුතා
සංසාරෙන්
එතෙර වෙන්න,
හමද්දී සිල් සුවඳ
වැලි මළුව පුරාවට.


2.03.2011

ඩේ කෙයා සෙන්ටරය

මවක් නැත
පියෙක් නැත.
අද ඊයෙ හඳුනගත්
අක්කා ඇත.
නැන්දා ඇත.
කෑම ඇත
කවනු නැත.
ඒ දේ ඇත
මේ දේ ඇත.
හුරතලුන් ඇත,
හුරතලය ඇත.
ඩේ කෙයා සෙන්ටරය,
සිරවෙන්න එහි
ඔබ කල වරද කිම?
 
BLOG TEMPLATE BY DESIGNER BLOGS